ඉරාක කැබිනට් මණ්ඩලයට නව සාමාජිකයින් පත්කරගැනීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට වත්මන් කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් නැවත වරක් අපොහොසත්වීම නිසා කෝපයට පත් ෂියා මුස්ලිම් කි‍්‍රයාධරයින් සියයකට අධික පිරිසක් ඉරාක පාර්ලිමෙන්තු ගොඩනැගිල්ල ආක‍්‍රමණය කර ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් ඉරාක අගනුවර හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.

ඉරාක පාර්ලිමෙන්තුව හා රාජ්‍ය තාන්ති‍්‍රක ගොඩනැගිලි පිහිටා තිබෙන බැග්ඩෑඩයේ හරිත කලාපයේ තැන් තැන්හිද විරෝධතාකරුවන් රැස්ව සිටින බව එම වාර්තා වල වැඩිදුරටත් සඳහන්ය.නමුත් ගැටුම් කිසිවක්ම මේ දක්වාම වාර්තාවී නොමැත.

නව කැබිනට් මණ්ඩලයකට වගකීම් පැවරීමට ඉරාක අගමැති හයිඩර් අල් අබාඩි සැළසුම් කර තිබෙන මුත් දැනට කැබිනට් මණ්ඩලයේ සිටින ප‍්‍රබල දේශපාලන පක්ෂවල නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ අනුමැතිය ඊට  නොලැබිණ.

දැනට සිටින ඇමැතිවරුන් වෙනුවට පක්ෂ නියෝජනය නොකරන,තාක්ෂණ දැනුම අතින් උසස් පිරිසක් කැබිනට් මණ්ඩලයට පත්කර ගැනීම අගමැතිවරයාගේ වුවමනාවයි.

ගැටලූව නිරාකරණය කරගැනීමට පසුගිය සමය මුළුල්ලේම විවිධාකාරයේ සාකච්ඡා පැවැති අතර ඒ කිසිවක ප‍්‍රගතියක් දැකගත නොහැකි විය.

ඉරාක රජයේ මෙම නොහැකියාවට එරෙහිව ජනතාව විරෝධතා පවත්වන්නේද කලක සිටය.මෙම විරෝධතා වල පෙරමුණේ සිටින්නේ ෂියා මුස්ලිම් ජනතාවය.

IRAQPARPO-0430-01