සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් සති කිහිපයකින් ධුරයෙන් ඉල්ලා අස්වන බවය.

තමන්ගේ ඉල්ලා අස්වීමත් සමඟ ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන බව ද ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් පැහැදිලි කර ඇත. ඇලෙක්සැන්ඩර් වුසික්, සර්බියාවේ ජනාධිපති ධුරයේ කටයුතු කළේ 2017 සිටය.

පසුගිය මාස 18 ක් පුරා රට තුළ පැවති රජයට එරෙහි විරෝධතා හේතුවෙන් ඇලෙක්සැන්ඩර් වුසික් මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පැවැසෙයි.

සර්බියාව යනු ගිනිකොනදිග සහ මධ්‍යම යුරෝපයට මායිම්ව, බෝල්කන් කලාපයේ පිහිටි ගොඩබිමෙන් වටවූ රාජ්‍යයකි. එහි අගනුවර සහ විශාලතම නගරය වන්නේ ඓතිහාසික බෙල්ග්‍රේඩ් නුවරයි.

හංගේරියාව, රුමේනියාව, බල්ගේරියාව, උතුරු මැසිඩෝනියාව, ක්‍රොඒෂියාව, බොස්නියාව සහ හර්සගොවිනාව මෙන්ම මොන්ටිනිග්‍රෝව යන රටවල් රැසකට සර්බියාව දේශසීමාවලින් මායිම් වී පවතී. රටේ බහුතර ජනතාව සර්බියන් භාෂාව භාවිත කරන අතර, ඔවුන් ප්‍රධාන වශයෙන් ඕතඩොක්ස් ක්‍රිස්තියානි ආගමික සිරිත් විරිත් අනුගමනය කරති.