තෙහ්රාන් අගනුවර පැවැති විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වූ බවට තමන්ට එල්ල වන චෝදනා අසත්‍ය යැයි ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා අද (12) පැවැසීය.

අත්වැරැදීමකින් එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් යුක්රේන ගුවන් යානයට කඩා වැටුණේ යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී ප්‍රකාශ කිරීමත් සමඟ ඉරාන අගනුවරදී විරෝධතා පැවැත්විණි. යානය මිසයිල ප්‍රහාරයට ලක්වෙද්දී එහි 176 දෙනකු සිටි අතර අනතුරින් එහි සියල්ලෝම මරුමුවට පත්වූහ.

මියගිය අය සිහිපත් කරමින් ඉරානයේ තෙහ්රාන් නුවර අමීර් කබීර් විශ්ව විද්‍යාලය ඉදිරි පිටට එම විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ එක්රැස් වූහ.

ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති රොබ් මැකයර් විරෝධතාකරුවන් කුපිත කළ බවට සැකකරමින් අත්අඩංගුවට ගෙන ඇත. තානාපතිවරයා විරෝධතාකරුවන් අතර සැකකටයුතු ලෙස හැසිරුණු බවටද චෝදනා එල්ල වී ඇතැයි ඉරානයේ ‘මෙහ්ර්’ පුවත් සේවය වාර්තා කළේය.

“මං විරෝධතාවකට නොගිය බව මට සහතිකවම කියන්න පුළුවන්. මම ගියේ ගුවන් අනතුරින් මියගිය පිරිස සිහිපත් කරමින් පැවැති වැඩසටහනකට. ඒ වගේම පැය භාගයකට ආසන්න කාලයක් මා රඳවා ගත්තා” යැයි බ්‍රිතාන්‍ය තානාපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

“ගුවන් අනතුරින් බ්‍රිතාන්‍ය ජාතිකයන්ද මියගියා. මියගිය පිරිස සිහි කිරීම සාමාන්‍ය දෙයක්. එතැන හිටපු ඇතැම් අය කෑගහන්න විනාඩි 5කට කලින් මං එතැනින් පිටවුණා” යැයි ද ඔහු කීවේය.

“රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අත්අඩංගුවට ගැන නීතිවිරෝධීයි. ඕනෑම රටක එහෙම” යැයිද හෙතෙම කීය.

ඉරානයේ සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරීම “ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝණය කිරීමක්” යැයි බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කළේය.

ඉරානය මේ වනතෙක් මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත.

 



ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි
- 055