තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන්, තලපති විජේ විශිෂ්ඨ ජයක් හිමි කර ගැනීමත් සමග මහ ඇමැති ධුරයේ කටයුතු කළ බලයේ සිටි, ‘ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්’ හෙවත් ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්.කේ. ස්ටාලින් පරාජය බාර ගත්තේය. ඒ, තලපති විජේට සුබ පතමිණි.

‘ජනතා තීන්දුවට අප හිස නවනවා. දේශපාලනය් දී ජය පරාජය දෙකටම මුහුණ දෙන්න ඕනෑ. අලුතින් දේශපාලන ගමනක් ආරම්භ කරමින් දේශපාලන කරළියට ආ විජේ සහ ඔහුගේ ‘තමිල්ග වෙට්රි කසාගම්’ පක්ෂයට මා සුබ පතනවා’ යැයි ස්ටාලින් පවසා ඇත.

තමිල්නාඩු ප්‍රාන්ත සභාව ආසන 234 කින් සමන්විතය. බහුතරය සඳහා අවශ්‍ය වන ආසන සංඛ්‍යාව 118 කි.

‘තමිල්ග වෙට්රි කසාගම්’ පක්ෂය ආසන 110 ක් දිනා ගත්තේය. ‘තමිල්ග වෙට්රි කසාගම්’ පක්ෂය පක්ෂය පිහිටුවීම සිදුවූයේ 2024 දීය. මෙය එම පක්ෂයේ පළමු මැතිවරණයයි.

ඩී.එම්.කේ. පක්ෂයට මෙවර දිනා ගැනීමට හැකිවූයේ ආසන 59 ක් පමණි. මෙය ඩී.එම්.කේ. පක්ෂය ලැබූ දරුණු පසුබෑමකි. මෙවර මැතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත්වූයේ ඩී.එම්.කේ. පක්ෂයයි. ඩී.එම්.කේ. පක්ෂය සන්ධානගත වී සිටින්නේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ද අයත් ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය සමගය. ඉදිරියට තමිල්නාඩුවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස තමන් කටයුතු කිරීමට සූදානම් බවත්, ජනතා විශ්වාසය යළි දිනා ගැනීමට කටයුතු කරන බවත් පරාජය බාර ගනිමින් ස්ටාලින් පවසා ඇත.

ඊට අමතරව, පසුගිය පස් වසරක කාලයේ, තම රජය විසින් සිදු කරනු ලැබූ සංවර්ධන කටයුතු සහ සුභසාධන ව්‍යාපෘති පිළිබඳව ද සිහිපත් කිරීමක් කළේය.
“පසුගිය වසර පහ තුළ අපි ව්‍යාපෘති රාශියක් නිර්මාණය කරමින් තමිල්නාඩු ජනතාවට යහපත් පාලනයක් ලබා දුන්නා. අපි තමිල්නාඩුව සෑම අතින්ම ඉහළට ඔසවා තැබුවා. මැතිවරණ පිටියේදී අප ඡන්දය ඉල්ලා සිටියේ අපගේ ජයග්‍රහණ සහ අත්පත් කර ගැනීම් පිළිබඳව පමණක් කතා කරමින්’ යැයි එම්.කේ. ස්ටාලින් පවසා ඇත.