ඇමෙරිකාවේ කොලෝසල් බයෝසයන්ස් ජෛව තාක්ෂණ සමාගම වඳ වී ගිය සතුන්ට පණ දීමට උත්සාහ ගනිමින් සිටී. පසුගිය දා එම සමාගමේ විද්‍යාඥයන් පැවැසුවේ, වසර 300කට පෙර වඳ වී ගිය, ඩෝඩෝ කුරුල්ලකුට පණ දිය හැකි යැයි බවය.

ඩෝඩෝ යනු අපගේ ඇස් පණාපිට වඳ වී ගිය, මුරුසි දූපතට පමණක් ආවේණික පියෑඹිය නොහැකි අමුතු විදියේ කුරුල්ලෙකි. ඩෝඩෝ කුරුල්ලාගේ ආසන්නතම ඥාතියා ලෙස විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබ ඇත්තේ නිකොබාර් පරෙවියාය.

කෞතුකාගාරවල ඇති ඩෝඩෝ කුරුල්ලන්ගේ අස්ථි සහ වෙනත් අවශේෂවලින් ලබාගත් ඩෝඩෝ ඩී.එන්.ඒ. විද්‍යාඥයන්ට ලැබි ඇත. ඒ අනුව, ඩෝඩෝ කුරුල්ලාගේ සම්පූර්ණ ජාන සැකැස්ම අවබෝධ කර ගැනීමට ද විද්‍යාඥයන්ට හැකි වී ඇත. 

නිකොබාර් පරෙවියාගේ සෛලවලට, ඩෝඩෝගේ ජාන අඩංගු ඩී.එන්.ඒ. ඇතුළත් කර, ජාන සංස්කරණ තාක්ෂණය භාවිතයෙන් පරෙවියාගේ ජාන වෙනස් කිරීමක් සිදුවෙයි. ඩෝඩෝට යළි පණ දෙන්නේ ඒ අනුවය.