ජපාන සත්ව උද්‍යානයක අලූත උපන් වැඳිරි පැටියකුට ‘චාලට්’ යන නම යෙදීම බි‍්‍රතාන්‍ය රජ පවුලේ අලූත් කුමරියට කරන අපහාසයක් යැයි දොස් අහන්න සිදුවීමත් සමඟ එම නම වෙනස් කිරීමට සත්ත්ව උද්‍යාන බලධාරීන්ට සිදු වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

බි‍්‍රතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් කුමරියට උපන් සිඟිති දියණියට යොදා ඇත්තේ චාලට් එලිසබෙත් ඩයනා යන නමය. එහෙයින් මෙම වැඳිරි පැටියාට චාලට් යන නම යෙදීම රජ පවුලට කරන අපහාසයක් බවට චෝදනා එල්ල විය.

වැඳිරි පැටියා උපන් මොහොතේ සිට සත්ව උද්‍යාන බලධාරීන් සතුන් වත්තට පැමිණෙන අයගෙන් ඇයට සුදුසු නමක් යෝජනා කරන්නැයි ඉල්ලා ඇත. එම අවස්ථාව වෙද්දී, රජ කුමරිය උපත ලබා සිටි අතර ‘චාලට්’ යන නම ද අතිශයින් ප‍්‍රකට වී තිබුණි.

සත්ව උද්‍යානයට පැමිණි බොහෝ දෙනා පවසා ඇත්තේ ‘චාලට්’ යන නම සුදුසුයි කියාය. ඒ අනුව චාලට් යනුවෙන් වැඳිරි පැටියාට යෙදීමට සත්ව උද්‍යානයේ බලධාරීන් කටයුතු කර ඇත.