වෙනිසියුලා විපක්ෂය දියත් කරන ලද දැවැන්ත වැඩ වර්ජනයකට වෙනිසියුලා වැසියන් මිලියන ගණනක් එක්ව ඇතැයි වාර්තා වේ.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතා ලබන 30 වැනිදා මැතිවරණයක් පැවැත්වීමට සූදානමින් සිටින අතර ඊට එරෙහිව මෙම වැඩ වර්ජනය පැවැත්වෙයි.

වෙනිසියුලා ජනාධිපතිවරයා නියමිත මැතිවරණ නොපවත්වමින් ඒකාධිපති පාලනයක් ගෙන යන බවට චෝදනා කරමින් එරට විපක්ෂය පසුගිය අප්‍රේල් මාසයේදී ආණ්ඩු විරෝධී, විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදි.

මදුරෝ මහතා  අනුගමනය කරන ප්‍රතිපත්ති හේතුවෙන් ඇමෙරිකාව සමඟ ද මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙන අතර වෙනිසියුලා ජනාධිපතිවරයාට කිසිදු ලෙසකින් නීතිවිරෝධී ලෙස ව්‍යවස්ථා සංශෝධන කිරීමට ඉඩ නොදෙන බව ඇමෙරිකාව සඳහන් කරයි.

වෙනිසියුලාවට එරෙහිව සම්බාධක පනවන බවත් කිසිදු ලෙසකින් වෙනිසියුලාව කැබලිවලට කැඩී වෙන්වීමට ඉඩ නොතබමන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ඉකුත් දා අනතුරු ඇඟවීය. අප්‍රේල් මාසයේ සිට මේ දක්වා පැවැති විරෝධතාවලදී ඇති වූ ගැටුම් හේතුවෙන් 100කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට පත්ව තිබේ.

වැඩ වර්ජනය ඉතා කුඩා එකක් බවත් නායකයන් අත්අඩංගුවට ගන්නා බවත් මදුරෝ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. රටෙන් සියයට 85කට ආසන්න පිරිසක් වැඩ වර්ජනයකට සම්බන්ධ වී සිටින බව වෙනිසියුලා විපක්ෂය පවසයි.

ඒ.එෆ්.පී/රොයිටර් 055