මෙම 2025 වසර සඳහා නොබෙල් ත්‍යාග පිරිනැමීම සිදුවන්නේ කාටදැයි යන්න නිවේදනය කිරීම ආරම්භ විය.

ඒ අනුව, පළමුවෙන් කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමි වන්නේ කාටදැයි නොබෙල් කමිටුව ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවැති උත්සවයක දී නිවේදනය කළේය.

මෙවර කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙලප ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකු අතරේ සමව බෙදී යයි. ඔවුන්ගෙන් දෙදෙනකු ඇමරිකානුවන් වන අතර අනෙක් තැනැත්තා ජපාන විද්‍යාඥයෙකි. මේරී ඊ බර්න්කෝව්, ෆ්‍රෙඩ් රැම්ස්ඩෙල් සහ ෂිමෝන් සගාගූචී යනු ඔවුන් තිදෙනාය.

මේරී ඊ බර්න්කෝව් ඇමෙරිකාවේ සියැටල් විද්‍යා ආයතනයේ වෛද්‍ය පර්යේෂිකාවකි. ෆ්‍රෙඩ් රැම්ස්ඩෙල් ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ සොනෝමා වෛද්‍ය පර්යේෂණ ආයතනයට සම්බන්ධ වී සිටී. සහ ෂිමෝන් සගාගූචී ජපානයේ ඔසාකා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකි.

වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය වෙනුවෙන්, ස්වීඩන් ක්‍රෝනා මිලියන 11 ක (ඇමරිකානු ඩොලර් මිලියනයක) මුදල් තෑග්ගක් මෙම තිදෙනා අතරේ බෙදී යයි.

ඇතැම් අවස්ථාවලදී අප සිරුරේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපට සතුරකු ලෙස ක්‍රියා කරයි. එසේ වන්නේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් සොයා ගැනීම් රැසක් සිදු කළ බැවින්, මෙම වෛද්‍ය පර්යේෂකයන් තිදෙනාට මෙම වසරේ, කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමිවන බව නොබෙල් කමිටුව නිවේදනය කර ඇත.

නොබෙල් කමිටු සභාපති ඕලේ කැම්පේ මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කළේ, බර්න්කෝව්, රැම්ස්ඩෙල් සහ සගාගූචී කළ සොයා ගැනීම්වලින් අප ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් අපට නව තෙරතුරු රැසක් දැනගන්න ලැබී ඇති බවය.