අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රහස්‍ය තොරතුරු විකිලීක්ස් වෙබ් අඩවිය හරහා හෙළිකළැයි එහි නිර්මාතෘ ජුලියන් අසාන්ජ් බලෙන් රඳවාගෙන සිටින බවට එක්සත් ජාතීන්ගේ කමිටුවක් තීරණය කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

බ්‍රිතාන්‍ය රජය ඔහු අත්අඩංගුවට ගෙන ස්වීඩනයට පිටුවහල් කිරීමට සූදානම්ව සිටියදී අසාන්ජ් 2012 වසරේදී රැකවරණ පතා ඉක්වදෝර තානාපති කාර්යාලයට පැමිණියේය. ඔහු එයින් නික්මුණහොත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් එය බලෙන් රඳවාගැනීමක් බවත් අදාළ කමිටුව කියයි.

ඔස්ට්‍රේලියා ජාතිකයකු වන 44 හැවිරිදි අසාන්ජ්ට 2010 වසරේදී ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගත් අතර එම චෝදනා බොරු බවත් දේශපාලනික හේතූන් මත ඒවා ගොතන ලද බවත් ඔහුගේ නීතිඥයෝ කියති.

ස්වීඩන පැමිණිලිකරුවන් කියා සිටියේ ජගත් සංවිධාන කමිටුවේ තීරණය මගින් ඔහුට එරෙහිව සිදුකෙරෙන පරීක්ෂණවලට බලපෑමක් නැති බවයි.