පාකිස්තානයේ ප්‍රධාන කැරලිකාර කණ්ඩායමක නායකයකු මෙන්ම 2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වූ කාරි අජ්මාල් නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ දී ඝාතනයට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ලෂ්කාර ඊ ජාහ්න්ගි (එල්ඊජේ) තහනම් ත්‍රස්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අජ්මාල් ලාහෝර් ප්‍රහාරයෙන් පසු වසිරිස්තාන පෙදෙසේ සැඟව සිටි බව කියති.

‘ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන්‘ වාර්තා අනුව ඔහු ඝාතනයට ලක්ව ඇත්තේ ඇෆ්ගනිස්තානය හා විදෙස් හමුදා ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ය. 2009 දී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් කළ බස් රියට වෙඩි තැබීමෙන් කණ්ඩායමේ ක්‍රීඩකයින් 5 දෙනෙක් තුවාල ලැබූහ. එම සිදුවීමේදී පාකිස්තානයේ පොලිස් නිලධාරීන් 7 දෙනකු ද මිය ගිය බව වාර්තාවේ. වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු පසුගිය දා පාකිස්තාන හමුදා සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී මිය ගිය අතර අජ්මාල් සමග ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් ත්‍රස්ත නායකයකු වූ හකිමුල්ලා මෙෂූඩ් 2013 නොවැම්බර් හිදී ඝාතනයට ලක්විය.