යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය කොල්ල කෑමට පාර්ලිමේන්තුවට කිසිදු අයිතියක් නැතැයි බ්‍රිතාන්‍යයේ වෙළෙඳ අමාත්‍ය ලියාම් ෆොක්ස් අද (20) පැවැසීය. 
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය ඔවුන්ගේ පාලනයට ගැනීමට ගත් උත්සහයන් කිහිපයක් පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ ලියාම් ෆොක්ස් ඒ බව කීවේය. 
 
“යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය කොල්ලකන්න පාර්ලිමේන්තුවට කිසිදු අයිතියක් නැහැ. මොකද පාර්ලිමේන්තුව ජනතාවට පොරොන්දුවක් දී තිබෙනවා. ‘අපි ඔබත් සමඟ කොන්ත්‍රාත්තුවක් ඇති කරගෙන තිබෙනවා. අපි තීරණයක් ගන්නවා. ඔබ එම තීරණයට ගරු කරනවා’ යනුවෙන් පාර්ලිමේන්තුව මේ රටේ ජනතාවට පවසා තිබෙනවා” යැයි ලියාම් ෆොක්ස් බී.බී.සී. පුවත් සේවයේ ඇන්ඩෘ මාර් වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේය.
 
“ජනමත විමසුමේ ප්‍රතිඵලයට සෑම විටම විරුද්ධ වූ පිරිසක් හිටියා. ඔවුන් දැන් ජනතාවගේ ප්‍රතිඵලය හොරකම් කරමින් ඉන්නවා. ඔවුන් දැන් බි්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය හොරකම් කරන්න හදනවා” යැයි ද හෙතෙම කීවේය. 
 
රොයිටර් ඇසුරිනි