ජකර්තා නුවරින් ගුවන් ගමන් ආරම්භ කළ ලයන් එයාර් ගුවන් සේවයට අයත් ගුවන්  යානයක්  මුහුදට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.    

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා නගරයේ සිට පැන්ග්කාල් පිනෑන්ග් දක්වා ගමන් ගත් බෝයිං 737 වර්ගයට අයත් ගුවන් යානයකි. එහි ගමන් ගත් මගීන් 189 දෙනා සහ කාර්ය මණ්ඩලය අනතුරට පත්ව ඇත.
  
ගුවන් ගත කර මිනිත්තු කිහිපයකට පසුව ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය සමඟ තිබූ රේඩාර් සම්බන්ධතා බිඳවැටී ඇති අතර විනාඩි 13කට පසුව ගුවන් යානය ජාවා මුහුදට කඩා වැටී තිබේ.
  

ජේටී 610 ගමන් අංක සහිත ගුවන් යානය ජකර්තා වේලාවෙන් 29 වැනිදා (සදුදා)  පෙ.ව 6.20 ට ජකර්තා නුවරින් ගමන් අරඹා පැයකට පසුව ගුවන් ගමන් නිමා කිරීමට නියමිතව තිබුණි.

ගුවන් යානය මීටර 30 - 40 ගැඹුරට කඩා වැටී ඇති බව ජාතික සෙව්ම් හා මුදාගැනීම් ආයතනයේ ප්‍රකාශකයෙක් වන යුෂුෆ් ලැටිෆ් ඒඑෆ්පී වෙත පැවසුවේය.  

වැඩිහිටි මගීන් 178, ළමයෙක්, ළදරුවෝ දෙදෙනෙක්, ගුවන් නියමුවෝ දෙදෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙක් ගුවන් යානය තුළ සිට ඇති බව ඉන්දුනීසියාවේ ජාතික ගමනාගමන ආරක්ෂක කමිටුව පවසයි.  

අනතුරට පත් වූ ගුවන් මගීන්ගේ ඥාතීන් අනතුරට පත් වූවන් වෙනුවෙන් දෙවියන් යැදිමින් සිටිති.  

ඇමරිකා එක්සත් ජනපදයේ බෝයිං සමාගම මේ අනතුර සම්බන්ධව ගැඹුරින්ම කණගාටුව ප්‍රකාශ කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වීමට අවශ්‍ය තාක්ෂණික සේවා සැපයීමට කැමැත්ත පලකර ඇත.

ඉන්දුනීසියාව විශාල දූපත් සමූහයකින් යුක්ත බැවින් ගුවන්ගමන් පදනම් කරගත්  ප්‍රවාහනය සේවයක් දක්නට ලැබේ. නමුත් එම සේවාවන්ගෙන් බොහෝ ඒවා දුර්වල සහ අනාරක්ෂිත ගුවන් සේවාවන් වේ.   

ඡායාරූප - ඒඑෆ්පී අනුග්‍රහයෙනි

-63226