සකස් කරන ලද ආහාර යැයි සඳහන් ලේබල ඇලවූ ටින් වල සඟවා චෙන්නායිහි සිට මෙරටට හෙරොයින් ප‍්‍රවාහනය කිරීමේ යෙදුණු ශී‍්‍රලාංකිකයින් දෙදෙනෙකුද ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට නවදිල්ලි පොලිස් විශේෂ ඒකකය සමත්විය.

මෙම කණ්ඩායම ගැන පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ පසුගිය ජූලි මාසයේ කළ වැටළීමකදීය. එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් ලත් තොරතුරු අනුව කණ්ඩායමේ මහ මොළකරු ලෙස සැළකෙන පෙරුමාල් නම් ඉන්දියා ජාතිකයාත් ඔහුගේ සගයින් දෙදෙනා වූ ශී‍්‍ර ලාංකිකයන් දෙදෙනාත් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී ශී‍්‍ර ලංකාවට යැවීමට සූදානම් කර තිබූ කිලෝ 16 ක හෙරොයින් තොගයක්ද සොයාගත් බව පොලිසිය කියයි.

අනාවරණව ඇති තොරතුරු වලට අනුව මෙම කණ්ඩායම හෙරොයින් ශී‍්‍රලංකාවට එවා ඇත්තේ මත්ත්ස්‍ය නිෂ්පාදන යැයි සඳහන් ලේබල ඇලවූ ටින් වල සඟවාය.

දැනට සිදුකෙරී ඇති පරීක්ෂණ වලින් ශී‍්‍රලංකා ජාතිකයින් දෙදෙනා හෙරොයින් ජාවාරමේ යෙදීම සදහාම ඉන්දියාට පැමිණ තිබෙන බව හෙළිව තිබේ.

ඇෆ්ගනිස්ථානයේ සිට පකිස්තානය හරහා මේ කණ්ඩායම ඉන්දියාවට හෙරොයින් ගෙනවිත් පසුව ඒවා ටින් වල සඟවා ශී‍්‍රලංකාවට යවා  ඇතැයි පොලිසිය පවසයි.