ලිබියාවේ අගනුවර පිහිටි එකම ගුවන්තොටුපොළ වන ට්‍රිපෝලි මිටිගා ජාත්‍යන්තර ගුවන් තොටුපොළටරොකට් ප්‍රහාර එල්ල වී ඇත.

අසල්වැසි රටවල් ලිබියාවේ ඇති වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇල්ජීරියාවට යෑමට දිනකට පෙර මෙම රොකට් ප්‍රහාර එල්ල විය.

ලිබියාවේ ප්‍රතිවාදී පාර්ශව අතර තිබෙන ගැටුම් හේතුවෙන් ගුවන්තොට මීට පෙර ද වසා තැබුණු අතර අද (22) මෙම රොකට් ප්‍රහාර එල්ල වූයේ සටන් විරාමයෙන් පසු  ගුවන්තොටුපොළ නැවත විවෘත කර දින නවයකට පසුවය.

ගුවන්තොටුපොළට ‘ග්‍රැඞ්’ වර්ගයේ රොකට් ප්‍රහාර හයක් එල්ල වී ඇත.

ලිබියානු ගැටුමේ ප්‍රධාන පාර්ශව දෙකකි. හමුදා පාලක කලීෆා හෆ්තර් එක් ප්‍රධාන පාර්ශවයක් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් ආණ්ඩුව අනෙක් පාර්ශවයයි. එය ‘ජාතික සම්මුති’ ආණ්ඩුව යනුවෙන් ද හඳුන්වයි. ප්‍රධාන වශයෙන් ගැටුම් පවතින්නේ මෙම පාර්ශව දෙක අතරය.

ලිබියාවේ ටි්‍රපෝලි අගනුවර ආණ්ඩුවේ පාලනයට නතුව තිබෙන අතර එය අල්ලා ගැනීම සඳහා හමුදා පාලක කලීෆා හෆ්තාර්ගේ සන්නද්ධ හමුදා බළඇණි මෙහෙයුම් දියත් කර ඇත. ඉන් පසු අවස්ථා කිහිපයකදීම ඔවුහු ගුවන්තොටුපොළට පහර දුන්හ.

ලිබියානු අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීම සඳහා ලෝක බලවතුන් පසුගිය සති කිහිපයේදී මැදිහත් වූ අතර මේ වනවිට ලිබියානු අර්බුදය උග්‍ර අතට හැරී තිබේ.

ඒ.එෆ්.පී. 

055