ලිබියානු අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින් අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන් ඇල්ජීරියාවේ ඇල්ජියර්ස් අගනුවරදී මුණ ගැසීමට නියමිතය.

ඒ අනුවි ලිබියාවේ අසල්වාසී රටවල් වන ටියුනීසියාව, ඊජිප්තුව, සුඩානය, චැඞ්, නයිජර් සහ මාලි යන රටවල විදේශ අමාත්‍යවරුන් මෙම හමුවට සහභගී වනු ඇත.

මෙම හමුව සංවිධානය කර ඇත්තේ අසල්වැසි ඇල්ජීරියාවේ විදේශ අමාත්‍යාංශය වන අතර එම අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

ලිබියානු අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවිය යුතු බවත් ඒ සඳහා සියලු පාර්ශවවල සහභාගීත්වයෙන් පූර්ණ සංවාදයක් කළ යුතු බවත් ඇල්ජීරියානු විදේශ අමාත්‍යාංශයේ එම නිවේදනයේ සඳහන් කර ඇත.

“මෙම සාකච්ඡාවේදී ලිබියාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරනවා. කිසිදු බාධාවකින් හෝ මැදිහත්වීමකින් හෝ තොරව තම අර්බුදය විසඳා ගැනීමට අපි අපේ ලිබියානු සහෝදරයන්ට අවස්ථාව උදා කරනවා” යැයි ඇල්ජීරියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

ලිබියාව විවිධ පාර්ශව එකිනෙකාට එරෙහිව සටන්වදින අතර ඇල්ජීරියාව සියලු පාර්ශව සමඟ සාකච්ඡා පවත්වමින් අඛණ්ඩව මධ්‍යස්ථ ස්ථාවරයක් පවත්වාගෙන යයි.
ඇල්ජීරියාව සහ ලිබියාව අතර කිලෝමීටර දහසක දේශසීමාවක් ද පවතී.

ඒ.එෆ්.පී. 

055