ලන්ඩන් නුවර ඉගෙනීමේ අබලතාවයන්ගෙන් පෙළෙන වැඩිහිටියන් හට අත හිතදීම පිණිස ඉටුකළ වටිනා සේවය උදෙසා  ශ්‍රී ලාංකික සහාය සේවිකාවක් මේ වසරේ බ්‍රිතාන්‍යයේ ඉහළම සම්මානයක් දිනාගැනීමට සමත් වූවාය.

වාර්ෂිකව පිරිනැමෙන "රික්ස් සාමි" සම්මානය මෙවර දිනාගත්තේ  හවූන්ස්ලෝ නගරයේ හේමා අබේතුංග විසිනි. හේමා අබේතුංග ට්විකන්හැම්හි අධ්‍යාපන ගැටළු සහිත වැඩිහිටියන් සඳහා විශේෂ පහසුකම් සපයන මධ්‍යස්ථානයක සේවය කරයි. 

එම මධ්‍යස්ථානයේදී පිළියම් ලබාගත් කාන්තාවක් ළමා කාලයේ පටන් තමන් තුළ තිබු "බල්ලන් සහ බළලුන් පිළිබඳ අසීමිත භීතිකාවක්" හේමා අබේතුංගගේ උදව් උපකාරයෙන් සුවපත් කරගැනීමට සමත් වුවාය. 

මෙම සාර්ථක වැඩපිළිවෙළ මුල්කරගෙන මේ වසරේ සම්මානය සඳහා ඇයගේ නම ඉදිරිපත් කළේ එම මධ්‍යස්ථානයේ කළමනාකරුය.

ඇයගේ නම මෙවන් අගනා සම්මානයක් සඳහා ඉදිරිපත් කිරීම පිළිබඳව අදහස් දැක්වූ ඔහු කිවේ " හේමා සිය වැඩකටයුතු ඉටු කිරීමේදී දක්වන අසීමිත කැපවීම සහ උනන්දුව නිසා අපගේ උපකාර මධ්‍යස්ථානය මඟින් ඉටුකරන වැදගත් සේවාවන් සාර්ථක ප්‍රතිඵල ලබාදෙන තත්වයකට පත්කර ගැනීමට අපට හැකිවී තිබෙනවා. මෙහි ඇති කිසිම වැඩකටයුත්තක් අපහසු දෙයක් ලෙස නොසලකන හේමා තම යුතුකම් නොපිරිභෙළා ඉටු කරන අවංකවම මෙවන් සේවාවන් රැකියාවකට වඩා සමාජ සේවාවක් ලෙස සලකා කටයුතු කරන උතුම් චරිතයකි" කියාය.

හේමා අබේතුංග වෙත මේ වසරේ සම්මානය පිරිනැමීමට තීරණය කිරිම පිළිබඳව අදහස් දැක්වූ විනිශ්චය මණ්ඩලය සඳහන් කළේ "අසීරු වැඩකටයුත්තක් ඉටුකිරීමේදී ඇය පෙන්වා ඇති අසාමාන්‍ය උද්යෝගය ලැදිකම සහ උනන්දුව අප සැමගේ බලවත් ප්‍රසාදය දිනාගැනීමට සමත්වූ" බවයි.

ඉගෙනීමේ දුබලතා ඇත්තන්ට සහාය දීමේ  බ්‍රිතාන්‍ය ආයතනය සංවිධානය කෙරුණු සම්මාන ප්‍රධානෝත්සවය පවත්වනු ලැබුවේ බර්මින්හැම් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. උත්සවය සඳහා 700 කට වඩා නියෝජිතයින් පිරිසක් සහභාගිවුහ.

webLondonHema_2015830