ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය 68 වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් උත්සව දෙකක් සංවිධානය කර කෙළේය.
ඉන් පළමුවැන්න පෙබරවාරි 4 වැනි දා උදෑසන මහකොමසාරිස් කාර්යාලයේදීය. මඟුල් බෙර වාදනය කරන අතරතුර වැඩබලන මහකොමසාරිස් සුගීශ්වර ගුණරත්න විසින් ශ්‍රී ලංකා ජාතික ධජය මහකොමසාරිස් කාර්යාලයීය කොඩි ගසෙහි එසවීමෙන් උත්සවය ඇරඹිණි. ඉන් අනතුරුව පැමිණ සිටි සියලුම දෙනා එකතුව ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කළ අතර ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරැකීම උදෙසා ජීවිත පරිත්‍යාග කළ සියලුම දෙනා සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වනු ලැබිය.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන් පැමිණ සිටි බෞද්ධ සැදැහැවතුන් තිසරණ සහිත පංච ශීලයෙහි පිහිටුවා සෙත් පැතුහ. අනතුරුව වසර හාරසියයකට සමීප කාලයක තුළ විදේශ පාලනයට යටත්ව තිබු අප මව්බිම නිදහස ලබාගැනීමේ වැදගත්කම පහදා දෙමින් උන්වහන්සේ අනුශාසනාවක්ද පැවැත්වුහ.
සිවාශ්‍රී සුප්‍රමනියම් කුරුක්කල් තුමා හින්දු ආගමික වතාවත් ද දයා පෙරේරා පියතුමා විසින් කතෝලික ආගමික මව්ලවි මොහමඩ් අනාස් විසින් ඉස්ලාමිය ආගමික මෙහෙය පැවැත්වුහ. බ්‍රිතාන්‍යයේ පදිංචි සියලුම ශ්‍රී ලාංකික ජන කොට්ඨාස නියෝජනය කෙරුණ විශාල පිරිසක් උත්සවය සඳහා සහභාගී වුහ.
වැඩබලන මහකොමසාරිස් සුගීශ්වර ගුණරත්න පැමිණ සිටි සියලුම දෙනා පිළිගනිමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ අගමැති තුමන්ගේ නිදහස් දින පණිවිඩ උපුටා දක්වමින් කෙටි කතාවක් කළේය. එහිදී දැනට ක්‍රියාත්මක සමගි සන්ධාන ක්‍රියාදාමයන් තුළින් ශ්‍රී ලංකාවේ සියලුම ජන කොට්ඨාස අතර සහජීවනය වර්ධනය කිරීම පිළිබඳවත් රට තුළ ස්ථිරසාර සාමයක් ඇතිකරලීම සඳහා රජය දියත් කර ඇති වැඩසටහන් පිළිබඳවත් රට තුළ ආරම්භ වී ඇති සංවර්ධන වැඩසටහන් පිළිබඳවත් කරුණු විස්තර කර දෙනු ලැබීය.
පෙබරවාරි 5 වැනි දා සවස මහකොමසාරිස් නිළ නිවසේදී ලන්ඩන් නුවර ඉන්නා මහකොමසාරිස්වරු, තානාපතිවරු ඇතුළු විදේශ රාජ්‍ය දුතවරු, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාල නිලධාරින්, නගරාධිපතිවරු, නඟර සභිකයින්, ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් සහ ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතා පවත්වන ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකන් වෙනුවෙන් ප්‍රිය සම්භාෂණයක් පැවැත්විණි.
ශ්‍රී ලංකාවත් බ්‍රිතාන්‍යයත් අතර ඇති ද්විපාක්ෂික සම්බන්ධතාවයේ අගය පෙන්වාදෙමින් වැඩබලන මහකොමසාරිස් කතාවක් කළේය.
එහිදී ඔහු ශ්‍රී ලංකාවේ වර්තමාන සංවර්ධන වැඩකටයුතු, සංචාරක අංශයේ ප්‍රවර්ධනය මෙන්ම සංචාරකයින් අතර ශ්‍රී ලංකාව දැනට ලබා ඇති අසාමාන්‍ය ජනප්‍රියත්වයක් පිළිබඳවත් කරුණු පැහැදිලි කළේය.
ලෝකයේ සංචාරය කළ යුතු හොඳම රටවල් 12 අතර ශ්‍රී ලංකාව ඉහළම ස්ථානයක් දිනා ඇති බව පෙන්වා දුන් ඔහු ලෝකයේ ප්‍රමුඛ සංචාරක සමාගම්, සඟරා සහ සංචාරක ලේකඛයින් ශ්‍රී ලංකාව පිළිබඳව දක්වා ඇත්තේ ඉස්තරම් නිර්දේශයන් බව පෙන්වා දුන්නේය.
බ්‍රිතාන්‍ය මහ රැජින නියෝජනය කරමින් පැමිණ සිටි අලිස්ටේයර් හැරිසන් මාර්ෂල් ශ්‍රී ලංකා ජනාධිපති වරයාටත් ජනතාවටත් සුභ පතමින් බ්‍රිතාන්‍ය සම්ප්‍රදායානුකුලව සව්දිය පිරුවේය.
සියලු දෙනා හට ප්‍රනීත ශ්‍රී ලාංකික ආහාර පාන වලින් සංග්‍රහ කරන ලද අතර උඩරට නැටුම් සහ සිංහල සංගීත අංගයන්ද ඉදිරිපත් කරනු ලැබිය.
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/611.jpg)
![11[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/111.jpg)
![13[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/131.jpg)
![14[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/1411.jpg)
![16[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/161.jpg)
![19[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/191.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය ශ්‍රී! (නි)
ශ්රී ලංකාවට ජය වේවා.! (ර)