සීත යුද සමයේ අවදානම් සහගත සහ තර්ජනාත්මක වාතාවරණයට සමාන තත්ත්වයක් අද ලෝකයේ ක‍්‍රමයෙන් ඇතිවෙමින් තිබෙන බව බි‍්‍රතාන්‍යය එම්එයි 6 බුද්ධි අංශයේ හිටපු ප‍්‍රධානියකු වන ශී‍්‍රමත් ජොන් සෝවර්ස් පවසයි.

නමුත් එදා මෙන් අද එවන් තත්ත්වයකට මුහුණදීමේ සමත් මූලෝපායික සැළැස්මක් බටහිර සතුව නොමැති බව පවසන ඔහු, කාලයක් මුළුල්ලේ නැගෙමින් ආ රුසියාවේ සහ චීනයේ හමුදා බලය සම්බන්ධයෙන් බටහිර වැඩි අවධානයක් යොමු නොකිරීම, තත්ත්වය තවත් බරපතල කර ඇති බව කියයි.

''මොස්කව් සහ වොෂින්ටනය අතර එදා පැවතුනා මෙන් මූලෝපායික වශයෙන් වැදගත් සම්බන්ධතාවයක් අද දකින්නට නැහැ.ලෝකයේ බලය බෙදීම අද වෙනස්.රුසියාව හමුදා බලය අතින් පොහොසත්.ඒ වගේම එම බලය භාවිතා කරන්නත් ඔවුන් පසුබට නැහැ.'' සෝවර්ස් පවසයි.

අයිඑස් බලකොටුවක් ලෙස සැළකෙන සිරියාවේ ඇලෙප්පෝ නගරයට මේ දිනවල දැඩි ප‍්‍රහාර එල්ල කෙරෙමින් පවතින අතර, ගුවන් ප‍්‍රහාර වල වැඩි වගකීම භාරගෙන සිටින්නේ රුසියාවය.මෙසේ එල්ල වෙමින් පවතින ප‍්‍රහාර වලින් ගෙවුනු අගහරුවාදා දිනයේ පමණක් මියගොස් ඇති සිවිල් වැසියන් සංඛ්‍යාව 34 ක් බව දැනගන්නට ඇත.

ඉවක් බවක් නොමැතිව එල්ල වන මෙම ගුවන් ප‍්‍රහාරයන් හෙළා දකිමින් අදහස් පළකර ඇති සෝවර්ස් ඒ අතරම බටහිරටද චෝදනා කරයි.

''අපි රුසියාවට සියලූ කටයුතු භාරදීලා ඉවත් වුනා.ඒක අපි කරපු බරපතල වරදක්.රසායනික අවි භාවිතා වන බවට සාක්කි තියෙද්දී බි‍්‍රතාන්‍යය පාර්ලිමෙන්තුව තීරණය කළේ සිිරියාවෙන් ඉවත් වෙන්න.ඇමරිකාව තීරණය කළේ ඒ වෙනකන් එල්ල කරමින් තිබුනු ගුවන් ප‍්‍රහාර නවත්වන්න''. ඔහු පවසයි.

''අපි තවමත් රුසියාව සහ චීනය කියන්නේ විශාල හානියක් සිදු කිරීමේ සමත් හමුදා බලයක් තිබෙන රටවල් බවට පිළිගෙන නැහැ.මේ තත්ත්වය යටතේ ඔවුන් එක්ක මුහුණට මුහුණ ගැටෙන්නට අද අපිට හැකියාවක් නැහැ.'' සෝවර්ස් කියයි.