ලෝ ප්‍රකට ඇඩෝබ් පොටෝෂොප් මෘදුකාංගයෙහි වසර 25 ක ඉතිහාසයේ විසඳාගැනීමට නොහැකිව කාලයත් සමඟ ඒවායේ කේතමය උපදෙස්‌ කෙමෙන් වියැකී යෑම (Bit rot) ගැටලුව‌ විසඳීමට ඇමෙරිකාවේ එම්.අයි.ටී සරසවියේ පරිගණක විද්‍යා හා කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ (CSAIL) පර්යේෂණකයෙක් සමත්ව සිටී. විශේෂත්වය වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු වීමයි. කොළඹ රාජකීය විද්‍යාලයේ හා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුවකු වන ඔහු චරිත් මෙන්ඩිස්‌ය.

පොටෝෂොප් වැනි රූප සංස්‌කරණ කාර්යයන් සඳහා භාවිත කරන මෘදුකාංග මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවක්‌ වන්නේ කාලයත් සමඟ ඒවායේ කේතමය උපදෙස්‌ කෙමෙන් වියැකී යෑමයි. සෑම මෘදුකාංගයකට ම පොදු මේ තත්ත්වය මෙවැනි මෘදුකාංග වලට විශාල ලෙස බලපායි. වේගවත් සේවාවක්‌ ලබාගැනීම සඳහා මේ මෘදුකාංගවල මූල කේත කලින් කලට විශාල ලෙස ප්‍රශස්‌තකරණය (Optimize) කිරීමට සිදුවේ.

ඇඩෝබ් වැනි සමාගම් සෑම වසර කිහිපයකට වතාවක්‌ම පරිගණක විශේෂඥයන් සිය ගණනක්‌ යොදාගනිමින් මේ කේත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරයි. මෙය මාස ගණනාවක්‌ හා ඩොලර් බිලියන ගණනක විශාල මුදලක්‌ වැය වන ක්‍රියාවලියකි.

මේ ගැටලුව විසඳා ගැනීම සඳහා උපක්‍රමයක්‌ සෙවීම පිණිස ඇඩෝබි සමාගම පසුගිය වර්ෂයේදී එම්.අයි.ටී සරසවිය සමග පර්යේෂණ සිදු කළ අතර එම සරසවියේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු වන වරිත් මෙන්ඩිස්‌ ලෝකයේ කිසිවකු එතෙක්‌ විසඳා නොතිබූ එම අභියෝගය ජයගන්නට සමත්වී තිබේ.