‘ජී7’ සමුළුව, නැගෙනහිර ප්‍රංශයේ, ස්විට්සර්ලන්ත දේශසීමාව අසල එවියන් නගරයේ දී පැවැත්විණි. මෙවර ‘ජී7’ සමුළුවේ අරමුණ ඇමෙරිකා ඉරාන යුද්ධය ගැනත්, යුක්රේන රුසියන් යුද්ධය ගැනත්, ගෝලීය වෙළෙඳ කටයුතු ගැනත්, ජාත්‍යන්තර අර්බුදය ගැනත්, තාක්ෂණික ගැටලු ගැනත් සාකච්ඡා කිරීමය.

‘ජී7’ නායකයන් ලෙස සමුළුවේ සත්කාරකරු ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනී, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර්මර්, ජර්මන් චාන්සලර් ෆෙඩ්රික් මර්ස්, කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි යුරෝපා සංගමයේ සභාපති ඇන්තෝනියෝ කොස්ටා සහ යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ද ලින් ද එම සමුළුවට සහභාගී වූහ. 

ඊට අමතරව, ‘ජී7’ හවුල් රාජ්‍යයන් ලෙස රටවල් කීපයක රාජ්‍ය නායකයෝ ද සමුළුවට එක්වීම විශේෂත්වයකි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, දකුණු කොරියා ජනාධිපති පී ජේයි මයියංග්, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ කෙන්යා ජනාධිපති විලියම් රූට් ද සමුළුවට සහභාගී වූහ.  සමුළුවට එක් වුණු රාජ්‍ය නායකයන් සියලු දෙනාට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. හවුල්කාර රටවල රාජ්‍ය නායකයන්ට අමතරව, කටාර්, එක්සත් අරාබි එමිරේට්ස්, ඊජිප්තු සහ තුර්කි රාජ්‍ය නායකයෝ සහ ජනාධිපතිවරැ ද ‘ජී7’ සමුළුවට සමගාමීව වූහ.

‘ජී7’ සමුළුවට සමගාමීව, කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී සහ එමිරේට්ස් ජනාධිපති ෂෙයික් මොහ්මද් බින් සයාද් අල් නහ්යාන්  සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ ද සාකච්ඡා පැවැත්විණි. ඇමෙරිකා ඉරාන යුද්ධය අවසන් කිරීමට, මැදහත්වී කටයුතු කළ ප්‍රධාන රටක් ලෙස කටාර් සැකෛයි.

‘ජී7’ සමුළුවට සමගාමීව, ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතරේත්, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ මෝදි අතරේත් සාකච්ඡා පැවැත්විණි. ඇමෙරිකා ඉරාන යුද්ධය අවසන් කිරීමට පොදු එකගතාවක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් මෝදි, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට ස්තුති කළේය.

ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනී සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතරේ සමීප මිත්‍රත්වයක් පවතී. මීට සති කීපයකට පෙර, මෝදි, ඉතාලියේ නිල සංචාරයකට ගිය අවස්ථාවේදී, ඔහු සහ මෙලෝනීගේ සෙල්ෆි ඡායාරූප ඉන්ට්‍රග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් විය. 

සමුළුවේදී රාජ්‍ය නායකයන් අතරේ සිදුවුණු සුහඳ කතාබහ ද මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී ඇත. ඉතාලි අග්‍රාමාත්‍යවරිය මෙලෝනී දැඩි ලෙස දුම්පානයට ඇබ්බැහි වූ තැනැත්තියක බව ප්‍රකටය. තමන් දුම්පානය අත්හැරිය බවත්, මාසයක් තිස්සේ තමන් දුම් පානය කර නොමැති බවත් මෙලෝනී, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සමග පවසන අයුරු ද මාධ්‍යවේදීන්ගේ මයික්‍රෝෆෝනවල පටිගත වී ඇත. 

මේ දිනවල ආරම්භ වී ඇති ‘ෆිෆා’ ලෝක කුසලාන පාපන්දු තරගය ගැන ද රාජ්‍ය නායකයන් කතාබහ කරන ආකාරය මයික්‍රෝෆෝනවල සටහන් වී ඇතැයි ද පැවැසෙයි. දිවා ආහාරයට සාකච්ඡා නවත්වා යළි සාකච්ඡා ආරම්භ කරද්දී, ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ අත් ඔරලෝසුව අතුරුදන් වී තිබුණි. ඔහු එය ගලවා පසෙකින් තබා තිබූ බවත්, එය සොයා ගැනීමට නොහැකි බවත් මැක්රොන් පවසන ආකාරය ද මයික්‍රෝෆෝන්වල පටිගත වී ඇත. මැක්රොන්ගේ අත් ඔරලෝසුව හමුවුවහොත් එය තමන්ට දෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන ආකාරය ද මයික්‍රෝෆෝනවල පටිගත වී ඇත. 

‘ජී7’ සමුළුවට සමගාමීව, එවියන් නගරයට තවත් රාජ්‍ය නායකයෝ කිහිප දෙනකු ද පැමිණ සිටි බව වාර්තා වේ. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද ඒ අතරේ සිටියේය. යුක්රේන රුසියන් යුද්ධය අවසන් කිරීමට ‘ජී7’ රාජ්‍ය නායකයන් සකස් කළ සාම යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා පැවැත්විණි. 

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ද එම සාකච්ඡාවට එක් විය. ඉරානය සමග අර්බුදය අවසන් වූ බැවින්, තමන්ගේ පූර්ව අවධානය රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම කෙරෙහි යොමු කරනවා යැයි ට්‍රම්ප් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවේ අවධාරණය කළේය.