ඩාවෝස්හිදීය (ඒ.එෆ්.පී)
 
ලොව බලවත්ම ආර්ථිකයන් හිමි රටවල නායකයන්, ලොව ප්‍රධානම පෙළේ සමාගම්වල හිමිකරුවන් ප්‍රධාන විධායක නිලධාරීන් සහ ආර්ථිකවේදීන්ගේ සහභාගීත්වයෙන් ‘ලෝක ආර්ථික සමුළුව’ (23) ආරම්භ වීමට නියමිතය. 
 
ආරම්භ වන ආර්ථික සමුළුව සතියක් පුරා පැවත්වීමට නියමිතය. ලෝක ආර්ථික සමුළුව සෑම වසරකදීම ස්විට්සර්ලන්තයේ ඩාවෝස්හිදි පැවත්වෙන අතර එම නිසා ලෝක ආර්ථික සමුළුව ‘ඩාවෝස්’ යන කෙටි නාමයෙන් ද හැඳින්වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාරික ප්‍රධානීන් ව්‍යාපාර කටයුතු කරන්නේ කෙසේදැයි අධ්‍යයනය කිරීමේ අරමුණින් යුරෝපීය ව්‍යාපාරිකයන්ගේ සහභාගීත්වයෙන් ලෝක ආර්ථික සමුළුව මුල්මවරට පවත්වන ලද්දේ 1971 වසරේදීය. 
 
ජර්මානු ව්‍යාපාරික මහාචාර්ය ක්ලෝස් ෂ්වාබ් විසින් ඒ සඳහා මුල පිරුවේය. 
ආර්ථික සමුළුවට දේශපාලනඥයන් සහභාගී වීම ආරම්භ වූයේ 1970 දශකය අවසාන කාලයේදීය. එතෙක් ආර්ථික සමුළුවට සහභාගී වූයේ යුරෝපය සහ ලොව අනෙකුත් රටවල ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සහ ධනවතුන්, ආර්ථිකවේදීන්, ක්‍රියාකාරීන්, ආර්ථික ක්‍රියාකාරීන් හා විද්වතුන්ය. ඇතම් අවස්ථාවලදී ඊට විරෝධතාකරුවෝ ද සහභාගී වූහ. එහිදි ලෝකය මුහුණ ආර්ථික ගැටලු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ තිබෙන ආර්ථික අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්විය.
 
මෙවර ලෝක ආර්ථික සමුළුවට ලෝක නායකයන් 70කට වැඩි පිරිසක් ද ඇතුළු ව්‍යාපාරිකයන්, ආර්ථිකවේදීන් ඇතුළු 3,000කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙවර සමුළුවේ පළමු දිනයේ මුඛ්‍ය දේශනය කරනු ඇත. 
 
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා (25) සමුළුවට සහභාගී වීමට නියමිතයි. ඔහුගේ පැමිණීමට බොහෝ පිරිසකගේ විරෝධය එල්ල වී තිබේ. ඇමෙරිකා ජනාධිපතිවරයා ස්විට්සර්ලන්තයට පිළිනොගන්නා බව ප්‍රකාශ කරමින් 17,000කට වැඩි පිරිසක් පෙත්සමකට ද අතසන් තබා තිබේ.
සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයන්ගේ සහ සමුළුවේ ආරක්ෂාව වෙනුවෙන් ස්විට්සර්ලන්ත සොල්දාදුවන් සහ පොලිස් නිලධාරීන් 4,000කට වැඩි පිරිසක් යොදවා තිබේ. සමාජවාදී තරුණයන් ස්විට්සර්ලන්තයේ ඇතැම් ගම්මානවල සමුළුවට විරෝධය පළකරමින් උද්ඝෝෂණ පවත්වන බව ද වාර්තා වේ. 
 
055