බංගලාදේශයේ රැඳී සිටි රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් බෙංගාල බොක්කේ දුරින් පිහිටි දූපතකට නාවුක යාත්‍රා මගින් රැගෙන ගොස් තිබේ.

මෙලෙස රැගෙන ගිය පිරිස 1,600ක් පමණ වන බව බලධාරීහු පවසති.

නාවුක හමුදාව පවසන්නේ දකුණු චිතගොන් වරායෙන් පිටත්වූ බෝට්ටු හතකින් සරණාගතයින් රැගෙන ගිය බවයි.

2017 වසරේදී අසල්වැසි මියන්මාරයෙන් පළවාහැරීම හේතුවෙන් රෝහින්ග්‍යා වැසියන් 730,000ක පමණ පිරිසක් බංගලාදේශයට පැමිණියහ.

අවතැන් කඳවුරු වල තදබදය අඩු කිරීම සඳහා මෙම පියවර ගැනීමට සිදුවූ බව බංගලාදේශ බලධාරීහු පවසති.

කෙසේවුවද සරණාගතයින් රැගෙන ගිය භාෂාන් චාර් දූපත සම්බන්දව බොහෝ විවේචන එල්ලවී තිබේ. එය වසර 20කට පමණ පෙර මුහුදින් මතුවූ දූපතක් බවත්  ගංවතුරට නිරන්තර මුහුණ දෙන වාසයට නුසුදුසු ස්ථානයක් බවත් මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.

එම දූපතට යෑම සඳහා රෝහින්ග්‍යා වැසියන්ට බලකර ඇති බවද ඔවුහු පවසති.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)