තුර්කියට එරෙහිව රුසියාව ආර්ථික සම්බාධක පනවා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. පසුගිය අඟහරුවාදා සිරියා දේශසීමාවේ දි රුසියා ප්‍ර‍හාරක ජෙට් යානයක් තුර්කිය විසින් විනාශ කිරීම මෙයට හේතුව බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් විසින් නිකුත් කර ඇති මෙම නිවේදනයෙන් තුර්කියෙන් ආනයනය කරන භාණ්ඩ සම්බන්ධව තහනමක් පනවා ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාවේ ඇති තුර්කි ව්‍යාපාර, රුසියාවේ සේවය කරන තුර්කි ජාතිකයන් පවා මෙයින් අර්බුදයකට මුහුණ දෙන බවයි.

මේ රටවල් දෙක අතර ඇති ගුවන් ගමන් ද අවලංගු වනු ඇත. තුර්කි ජනාධිපති රෙකැප් ටැයිප් අර්ඩොගාන් රුසියාවෙන් සමාව ඇයදීමට සූදානම් නැත.

රුසියාව සහ තුර්කිය අතර ඉතා වැදගත් ආර්ථික සබඳතා පවතී. තුර්කියේ දෙවැනි විශාලතම ව්‍යාපාරික හවුල්කරුවා වන්නේ ද රුසියාවයි. පසුගිය වසරක කාලයේ දි ලක්ෂ 30ට වැඩි රුසියන් සංචාරකයෝ තුර්කියේ සංචාරය කළහ.

ජනාධිපති පුටින් පවසන්නේ තුර්කි ජාතිකයන් 90,000ක් පමණ රුසියාවේ සේවය කරන බවයි. ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකයන් ද සමග තුර්කි වැසියන් ලක්ෂ දෙකක් පමණ රුසියාවේ වාසය කරති.

පසුගිය සිකුරාදා සිට රුසියාව විසින් තුර්කි ජාතිකයන්ට සිය රට පැමිණිමේ නිදහස් වීසා වැඩසටහන ද අවලංගු කරන ලදී.