(බීරූට්හිදීය (ඒ.එෆ්.පී)

ඩැමැස්කස් නුවර ආසන්නයේ තැනක ජාත්‍යන්තර රසායන අවි විමර්ශකයන්ට කඳවුරක් ස්ථාපිත කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් සිරියානු සහ රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡා කරන බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක විශේෂඥයෝ පවසති. 


අප්‍රේල් 7 වැනිදා ඩැමැස්කස් නුවර සිට කිලෝමීටර 19 ක් දුරින් පිහිටි ආණ්ඩු විරෝධී විපක්ෂ කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයට විස වායු ප්‍රහාරයක් එල්ල වූ බවත් රුසියාවේ සහාය ඇතිව එය එල්ල කරන ලද්දේ සිරියානු රජයේ හමුදා බවත් ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් චෝදනා කරයි. ජනාධිපති බෂාර් අල් අසාද්ගේ නායකත්වයෙන් සිරියානු ආණ්ඩුව සහ රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඩූමා ප්‍රදේශයට එල්ල වූයේ රසායනික අවි ප්‍රහාරයක් බව සනාථ කිරීමට සියලු කරුණු සහ සාක්ෂි ලැබී ඇතැයි ද බටහිර රටවල් ප්‍රකාශ කළ අතර භූමියේ ඇති වැදගත් සාක්ෂි මේ වනවිටත් විනාශ කර ඇතැයි ද එම රටවල් බිය පළ කරයි. 
ජාත්‍යන්තර රසායන අවි විමර්ශකයන් ඊයේ, බදාදා (18) ඩූමා ප්‍රදේශයට ඇතුළුවීමට නියමිතව තිබූ නමුත් ඔවුන් තවමත් විමර්ශන කටයුතු ආරම්භ කර නැතැයි වාර්තා වේ. තොරතුරු සෙවීමේ විශේෂඥයන්ට හැකි ඉක්මනින් ඩූමා වෙත ගමන් කිරීම සඳහා ඉඩ සලසා දීමට කටයුතු සකසමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක දෙපාර්තමේන්තුව ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කරන වාර්තාවක සඳහන් ව තිබේ. 

රසායනික අවි ප්‍රහාරය එල්ල කිරීමට පිළිතුරු දැක්වීමක් ලෙස ඇමෙරිකාව බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සිරියාවේ ඩැමැස්කස් නුවර රසායනික අවි ගබඩා කර ඇතැයි සැක කෙරෙන අප්‍රේල් 13 වැනිදා රාත්‍රියේ සහ ඊට පසුදා අලුයම් කාලයේදී මිසයිල 105ක දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. 

ඉන් පැය කිහිපයකට පසු රසායනික අවි තහනම් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ විශේෂඳයන් සිරියාවට පැමිණියත් ආරක්ෂක හේතු නිසා ඔවුන්ට තවමත් ඩූමා ප්‍රදේශයට යෑමට නොහැකි වී තිබේ. 

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව, ආරක්ෂක කණ්ඩායමක් රුසියානු හමුදා පොලිසියේ සහාය ඇතිව ස්ථාන දෙකකට ගමන් කර තිබේ. ඉන් එක් ස්ථානයකදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ රුසියානු හමුදා පොලිසිය ඉලක්ක කරගනිමින් කුඩා ගිනි අවි යොදාගත් ප්‍රහාරයක් එල්ල වී තිබේ. 

 

(055)