රුසියන් යුක්රේන යුද ගැටුම් මැද, යුක්රේනය ඔවුන්ගේ 34 වැනි නිදහස් දිනය සැමරුවේය. යුක්රේනය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් වූ අතර, සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙද්දී, නිදහස් රාජ්‍යයක් බවට පත් විය. ඒ 1991 වසරේදීය.

යුක්රේන නිදහස් දින සැමරුවේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස, කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නී, කීව් අගනුවර සැමරුම් උත්සවයට සහභාගී විය. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් සහ බිරිඳගෙන් කැනඩා අග්‍රාමාත්‍යවරයාට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කර සාම මාවතකට යෑමට ගන්නා උත්සාහය තවමත් සාර්ථක වී නොමැති බවත්, යුක්රේනයේ නිදහස වෙනුවෙන් සහ යුක්රේන වැසියන්ගේ නිදහස වෙනුවෙන්  නොකඩවා සටන් කරන බව සැමරුම් උළෙල අමතමින්, සෙලෙන්ස්කී පැහැදිලි කළේය. දිගින් දිගටම රුසියාවෙන් එල්ල වන ප්‍රහාරවලට විරෝධය ද පළ කරමිණි.

රුසියාව, යුක්රේනයට ඓරහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ යුක්රේනය නේටෝ සාමාජිකත්වය ඉල්ලන බැවිනි. යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා නොදී, නේටෝ රටවලින් විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්නේ නම් ඊට තමන් විරුද්ධ නොවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.

නිදහස් සැමරුමට සහභාගී වූ කැනඩා අග්‍රාමාත්‍යවරයා වෙන්වා දුන්නේ යුක්රේනයට අවශ්‍ය විදියේ ආරක්ෂාවක් ලබා දීමට කැනඩාවේ ද සහාය හිමිවනු ඇති බවය. කැනඩාව ද ‘නේටෝ’ සාමාජිකයෙකි.

මේ අතර, යුක්රේන නිදහස් දිනය වෙනුවෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට ලිපියක් යවා ඇත. ඒම ලිපිය හරහා ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, රුසියන් ප්‍රහාර හමුවේ නොබියව, ධෛර්යයෙන් ඊට මුහුණ දෙන යුක්රේන වැසියන් වර්ණනා කර ඇතැයි ද පැවසෙයි.