රුසියානු හමුදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාර මාලාවකින් සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රදේශයේ කුඩා දරුවන් පස්දෙනකු ඇතුළු සිවිල් වැසියන් අට දෙනකු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ.

තවමත් සිරියාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි ඉඞ්ලිබ් මෙන්ම ඇලෙප්පෝ යන ප්‍රාන්තවල වැඩි කොටසක් පාලනය කරන්නේ ජනාධිපති බෂාර් අල් අසාද්ට විරුද්ධව පාර්ශවය. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රෙජීමයට රුසියාවේ සහාය හිමි වේ. කලක් අල්කයිඩා සංවිධානයේ සිරියාවේ ශාඛාව වූ කණ්ඩායමක් ද මෙම පළාත් ද්විත්වයේ ඇතැම් කොටස් පාලනය කරයි.

ගුවන් ප්‍රහාරවලින් සරාකෙබ්හි එකම පවුලේ පස්දෙනකුද අර්නාබා නගරයේ තිදෙනකුද මියගිය බව මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය.

“රුසියානු ගුවන් යානා මේ ප්‍රදේශවලට දිගින් දිගටම බෝම්බ හෙළනවා” යැයි බි්‍රතාන්‍ය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක එම සංවිධානයේ ප්‍රධානී රමී අබ්දෙල් රහ්මාන් කීවේය.

ඉඞ්ලිබ් පළාත් කැරැලිකරුවන්ගේ පාලනයට නතුව තිබූ අතර රජයේ හමුදා ඒවා අල්ලා ගත්තේය. ඉඞ්ලිබ් පළාත අවතැන් සිරියානුවන්ට මාරාන්තික පළාතක් බවට පත්ව තිබේ.

උතුරු සිරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා උග්‍ර අතට හැරී තිබෙන අතට දරුණු මානුෂීය අර්බුදයක් හටගෙන ඇතැයි ජාත්‍යන්තර සංවිධාන ප්‍රකාශ කරයි. අවතැන්වූවන්ගේ සංඛ්‍යාව මින් පෙර කිසිදු දිනක නොදුටු ආකාරයට ඉහළ ගොස් ඇතැයි ද එම සංවිධාන අනතුරු අඟවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව දෙසැම්බර් 1 වැනිදා මේ දක්වා ගත වූ කාලයේදී 350,000කට වැඩි පිරිසක් ඔවුන්ගේ නිවෙස් අත්හැර දමා ගොස් ඇත. ඉඞ්ලිබ් පළාතේ දකුණු දිග ප්‍රදේශයේ සිට උතුරු පෙදෙසට ඔවුහු එලෙස පලා යමින් සිටිති.

ප්‍රචණ්ඩ ක්‍රියා දිගින් දිගටම සිදුවුවහොත් තවත් 650,000කට වැඩි පිරිසකට ඔවුන්ගේ නිවෙස් අත්හැර පලා යෑමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර මුදාගැනීමේ කමිටුව අනතුරු අඟවයි. ඔවුන්ගෙන් වැඩිදෙනා දරුවන් සහ කාන්තාවන් යැයි ද පැවසේ. 

ඒ.එෆ්.පී. 

055