රුසියාවේ වෛද්‍ය විද්‍යායතනයක ඇතිවූ ගින්නකින් ඉන්දීය සිසුවියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය පුවත් සේවා කියයි.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගැහැණු ළමයි දෙදෙනකු රුසියාවේ ස්මොලෙන්ස්ක් වෛද්‍ය පීඨයේ අධ්‍යයනය ලබමින් සිටි බවත් එහි ඇතිවූ ගින්නකින් ඔවුන් මිය ගොස් ඇති බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් ට්විටර් පණිවිඩයක දක්වා ඇත.

තවත් සිසු පිරිසකට තුවාල සිදුවී ඇති බවත් ඔවුන් අසාධ්‍ය තත්ත්වයේ නොමැති බවත් විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මොස්කම් නුවරට කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි වෛද්‍ය පීටයේ මෙම අනතුර සිදුවී ඇත.

රුසියා පරීක්ෂණ කණ්ඩායම්වලට අනුව මූලික වාර්තාව පවසනුයේ ගින්න විශ්ව විද්‍යාලයේ සිව්වැනි මහලේ සයනාගාරයේ ඇතිවූවක් බවයි. එහි රැඳී සිට ඇත්තේ ඉන්දීය ජාතිකයන් බවත් කියති.

මිය ගිය සිසුවියන් දෙදෙනාගේ මෘත දේහයන් බදාදා (17) මොස්කව් නගරයට රැගෙන ඒමට නියමිත බවත් එම දේහයන් යළි මුම්බායි නුවරට රැගෙන එනු ඇති බවත් ඔවුන්ට සිය ශෝකය ප්‍රකාශ කරන බවත් සුෂ්මා ස්වරාජ් තවත් ට්විටර් පණිවිඩයකින් කියන්නීය.