සම්මානනීය හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 89 කි.

ඇමෙරිකාවේ යූටා ජනපදයේ සන්ඩෑන්ස් කඳුකර නිවසේ දී රෙඩ්ෆර්ඩ් අවසන් සුසුම් හෙලූ බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පවසති.

රොබට් රෙඩ්ෆර්ඩ් නළුවකු පමණක් නොව, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම සමාජ ක්‍රියාකාරියකු ලෙස ද ප්‍රකටය.

රෙඩ්ෆර්ඩ්ගේ රංගන දිවිය ආරම්භ වූයේ 1950 දශකයේය. 1960 දශකයේ දී රූපවාහිනී කතාමාලා කීපයකට ද ඔහු රංගනයෙන් දායක විය.

රොබට් රෙඩ්ෆර්ඩ් ලොව කාගේත් ආදරය දිනා ගත් රංගන ශිල්පියකු බවට පත් වූයේ 'ද ස්ටිංග්' සහ 'බුච් කැසඩි ඇන්ඩ් ද සන්ඩෑන්ස් කිඩ්' වැනි චිත්‍රපට හරහාය.

'ද ස්ටිංග්' චිත්‍රපටයේ කළ රංගන වෙනුවෙන්, හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්තේය. ඔහු හොඳම අධ්‍යක්ෂවරයා ලෙස ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවේ 'ඕඩිනරි පීපල්' චිත්‍රපටය වෙනුවෙනි.

කැප්ටන් ඇමෙරිකා වින්ටර් සෝල්ජර් මාවල් චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයාගේ චරිතයට පණ පෙව්වේ ද රෙඩ්ෆර්ඩ්ය.

රොබට් රෙඩ්ෆර්ඩ් උපන්නේ 1936 අගෝස්තු 18 වැනිදාය. ඔහු දෙවරක් විවාහ විය. රෙඩ්ෆර්ඩ්, දරුවන් සිවු දෙනකුගේ ආදරණීය පියෙකි. මුණුපුරු පිණිපිරියන් පස් දෙනකුගේ සීයා කෙනකි.