ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙනිසියුලාවට ලබාදුන් දෙවැනි මානුෂීය ආධාර තොගය සඳුඳා කැරැකස් අගනුවර වෙත ළඟා විය. 

මෙම ආධාර තොගයට ටොන් 24ක වෛද්‍ය ආධාර සහ පැනමාවෙන් ලබාදුන් විදුලි උත්පාදන යන්ත්‍ර තොගයක් ද ඇතුළත් විය. වෙනිසියුලාවේ ඇති වී තිබෙන උග්‍ර සෞඛ්‍ය අර්බුදයට පිළියමක් ලෙස රතු කුරුස සංවිධානය වෙනිසියුලාවට මානුෂීය ආධාර ලබාදීමට පියවර ගත්තේය. 

“ඖෂධ ඇතුළු වෛද්‍ය ආධාර සහ විදුලි උත්පාදන යන්ත්‍ර ඇතුළු මානුෂීය ආධාර තොගය ලැබුණු බව වෙනිසියුලාවේ රතු කුරුස සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.  
 
වෙනිසියුලාව මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුම අර්බුදයට මුහුණ දී ඇතැයි ද එම සංවිධානය සඳහන් කළේය. කැරැකස් නුවර පිහිටි වෙනිසියුලානු රතු කුරුස සංවිධානයට අයත් ගබඩාවක් වෙත එම මානුෂීය ආධාර තොගය රැගත් ට්‍රක් රථ හයක් පැමිණි ඇත.

මේ වනවිට වෙනිසියුලාවේ රෝහල් රැසක ඖෂධ හිඟ වී තිබෙන අතර වෙනිසියුලාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වසර හතරක සිට දැඩි පසුබැසීමකට ලක්ව තිබේ. ඊට අමතරව එරට තුළ තිබෙන අති උද්ධමනය නිසා ජනතාවට මූලික අවශ්‍යතා සපුරා ගැනීමට දුෂ්කර වී තිබේ. 
 
විශේෂයෙන්ම ආහාර සහ ඖෂධ ලබාගැනීම දුෂ්කර වී තිබේ. වෙනිසියුලාවේ ජනගහනය මිලියන 30ක් වන අතර ඉන් හතරෙන් එකකට ආධාර අත්‍යවශ්‍යව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
 

තෙල් සම්පතින් පොහොසත් දකුණු ඇමෙරිකානු රටක් වන වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනය කඩා වී තිබෙන අතර අපේක්ෂිත මට්ටමට තෙල් නිෂ්පාදනය කිරීමට අපොහොසත් වී තිබේ. 
 
වෙනිසියුලාවේ උද්ධමනය මේ වසරේදී මිලියන 10ක් (ප්‍රතිශතයක් ලෙස) වනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර ඇත. 

ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සමඟ ගිවිසුමකට අත්සන් කිරීමෙන් පසුව සමාජවාදී පාලකයකු වන වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ පසුගිය අප්‍රේල් මාසයේදී පළමු ආධාර තොගයට රට තුළට පැමිණීමට අවසර දුන්නේය. 
 
වෙනිසියුලාව තුළ මේ වනවිට බල අරගලයක් නිර්මාණය වී තිබෙන අතර විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වී සිටී.
  

ඒ.එෆ්.පී. ඇසුරිනි 
 
055