ඇමෙරිකාව සහ ජපානය චීනයේ වූහාන් නගරයට විශේෂ ගුවන් යානා යවමින් එහි සිරවී සිටි සිය ජාතිකයන් මුදාගැනීමට අද (29) පියවර ගත්තේය.
මාරාන්තික කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් අගනුවරිනි. මේ වනවිට විදේශිකයෝ දහස් ගණනක් එහි සිරවී සිටිති.
ජපානය වෛද්‍යවරුන් ද සමඟ විශේෂ ගුවන් යානයක් වූහාන් නගරයට යැවූ අතර ජපන් ජාතිකයන් 206 දෙනකු සමඟ එම ගුවන් යානය අද (29) ටෝකියේ නුවරට ළඟා විය.
වූහාන් නගරයෙන් මුදාගත් එම පිරිස නිරෝධායනයට ලක්කිරීමට තීරණය කර නැතැයි ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. එහෙත් පරීක්ෂණවල අවසන් ප්‍රතිඵල ලැබෙනතුරු ඔවුන්ට නිවෙස්වලට වී සිටින ලෙස උපදෙස් දී ඇත. ජපන් ජාතිකයන් 650 දෙනකු පමණ වූහාන් නගරයේ සිරවී සිටින බව එම නගරයෙන් ලැබෙන වාර්තාවලින් පැවැසේ.
ඇමෙරිකාවෙන් යැවූ විශේෂ ගුවන් යානය ඇමෙරිකානු ජාතිකයන් 240 දෙනකු රැගෙන අද (29) අලුයම වූහාන් නගරයෙන් පිටත් වූ බවත් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ප්‍රංශ වැසියන් 1,000කට ආසන්න පිරිසක් වූහාන් නගරයේ සිරවී සිටින අතර ඔවුන් මුදාගැනීම සඳහා අද (30) ගුවන් යානා දෙකක් යවන බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. එක් ගුවන් යානයක් සිකුරාදා හෝ සෙනසුරාදා ආපසු ප්‍රංශයට පැමිණෙනු ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.
යුරෝපා සංගමයට අයත් රටවල වැසියන් 100කට වැඩි පිරිසක් වූහාන් නගරයේ සිර වී සිටින අතර එම පිරිස මුදාගැනීම සඳහා ප්‍රංශය සමඟ එක්වී පියවර ගන්නා බව යුරෝපා සංගමය නිවේදනය කළේය.
වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 32ක් සහ ඔවුන්ගේ ඥාතීන් මුදාගැනීම සඳහා විශේෂ ගුවන් යානයක් යැවීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගනිමින් සිටින බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.
ඉන්දීය ජාතිකයන් 250 දෙනකු, ඉන්දුනීසියානු ජාතිකයන් 230 දෙනකු, මැලේසියානු ජාතිකයන් 78 දෙනකු සහ පිලිපීන ජාතිකයන් 150 දෙනකු වූහාන් නගරයේත් තවත් විදේශිකයන් 150ක් හුබෙයි පළාතේ විවිධ ස්ථානවලත් සිරවී සිටින බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය. තායිලන්ත ජාතිකයන් 64ක් සහ ජර්මානු ජාතිකයන් 90ක්, ඇල්ජීරියා, ස්පාඤ්ඤ සහ මොරොක්කෝ ජාතිකයෙක් ද වූහාන් හි සිරවී සිටින බව එම පුවත් සේවය සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd