රටේ නිලධාරී තන්ත්‍රයේ වැටුප් සහ ධනය නිර්මාණය කිරීමේ ව්‍යුහය වැඩි විය යුතු යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (18) ප්‍රකාශ කළේය.

මීට දශක ගණනකට පෙර කොමසාරිස්වරුන් සහ බිග්‍රේඩියවරුන් ශක්තිමත් වැටුපක් ලැබූ බවත් පාකිස්තාන අගමැතිවරයා කීවේය.

පාකිස්තානයේ වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කරන උත්සවයක් අමතමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එම කරුණු කීවේය. 

“වසර 1935 දී කොමසාරිස්වරුන් සහ බිග්‍රේඩියවරුන් හොඳ වැටුපක් ලැබුවා. ඔවුන්ගේ වැටුපෙන් රත්තරං ග්‍රෑම් 820කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගන්න හැකියාව ලැබුණා” යැයි අගමැති ඉම්රාන් ඛාන් කීවේය. 

රට තුළ ධනය උත්පාදනය වීම ක්‍රමයෙන් පහළ වැටීම නිසා නිලධාරී තන්ත්‍රයේ වැටුප් ද ක්‍රමයෙන් පහත වැටී ඇතැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කීය. 

රටේ පවතින වත්මන් ආර්ථික දුෂ්කරතාවලට පෙර පැවැති ආණ්ඩු වගකිව යුතු යැයි ද පසුගිය ආණ්ඩුව ධනය ඉපැයීම සඳහා කිසිවක් නොකළ බව ද ඉම්රාන් ඛාන් කීය. රට තුළ මුදල් ඉපැයීම වැරැදි යැයි මතයක් නිර්මාණය වී ඇතැයි ද රටේ පවතින ඛේදනීය ආර්ථික තත්ත්වයට එය හේතුවක් යැයි ද ඉම්රාන් ඛාන් කීවේය.  

ඉදිරියේදී රට තුළ ආයෝජකයන්ට සහ ව්‍යාපාරිකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරන බවට ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එම උත්සවයේදී පොරොන්දු දුන්නේය. 

'ද ඩෝන්' පුවත්පත ඇසුරිනි

055