
එල් මෙන්චෝ නමැති දරුණු අපරාධ කල්ලි නායකයා මරා දැමීමත් සමඟ ඔහුගේ ‘හලිස්කෝ නිව් ජෙනරේෂන් කාටෙල්’ නමැති අපරාධ කල්ලියේ සාමාජිකයන් වියරු වැටී සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට මෙක්සිකෝ ආරක්ෂක පියවර ගනිමින් සිටින බවත්, රටේ ආරක්ෂාව ගැන බිය විය යුතු නැති බවත් මෙක්සිකෝ ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බොම් පාර්ඩෝ ජාතිය අමතමින් අවධාරණය කළාය.
මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන සන්නද්ධ අපරාධ කල්ලි කීපයකි. ඒ අතරින්, ‘හලිස්කෝ නිව් ජෙනරේෂන් කාටෙල්’ කල්ලිය කැපී පෙනෙයි. මෙම කල්ලිය, කුඩා මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක් ලෙස 2009 වසරේ දී බිහිවී, ඉතා දරුණු, බිහිසුණු අපරාධ කල්ලියක් බවට පත්විය. මෙක්සිකෝවේ ප්‍රාන්ත 28 කට මෙම කල්ලිය ව්‍යාප්ත වී තිබේ.
මෙක්සිකෝ හමුදාව, එල් මෙන්චෝ ඝාතනය කළේ පසුගිය ඉරිදා දිනයේය. ඒ, ජලිස්කෝ නමැති ප්‍රාන්තයේ කළ වැටලීමකදීය. එම අවස්ථාවේදී මෙක්සිකෝ හමුදා සොල්දාදුවන් සහ එල් මෙන්චෝ සහ ඔහුගේ සාමාජිකයන් අතරේ දරුණු වෙඩි හුවමාරුවක් සිදුවිය.
60 හැවිරිදි එල් මෙන්චෝ එම අවස්ථාවේදී සිට ඇත්තේ ඔහුගේ පෙම්වතිය සමගය.
මෙක්සිකෝ හමුදාව, ඇමෙරිකන් බුද්ධි අංශ සහාය ඇතිව මෙම පෙම්වතිය ගැන විමසිල්ලෙන් පසුවුණු බවත්, එල් මෙන්චෝ කොටු කර ගැනීමට හැකිවුණු බවත් පැවැසෙයි.
බරපතල ලෙස තුවාල ලැබූ එල් මෙන්චෝ මියගොස් ඇත්තේ රෝහලට රැගෙන යද්දීය. සිදුවුණු අවි ගැටුමේ දී ඇමෙරිකන් හමුදාවේත්, පොලිසියේත් සෙබළුන් සහ නිලධාරීන් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එල් මෙන්චෝ අපරාධ කල්ලි සාමාජිකයෝ 30 ක් මියගියහ.
අති නවීන ගිනිඅවි, රොකට් විඳින ආදිය අපරාධ කල්ලි සාමාජිකයන් සතුව තිබී පසුව මෙක්සිකෝ ආරක්ෂක අංශ අතට පත්විය.
එල් මෙන්චෝ ඝාතනය කර හෝ පණ පිටින් හෝ අල්ලා ගැනීමට උදවු වන අයකුට ඇමෙරිකාව, ඩොලර් මිලියන 15,000 ක මුදල් ත්‍යාගයක් දෙන බව ප්‍රකාශ කර තිබුණි. මෙක්සිකෝව යනු ඇමෙරිකාවේ අසල් වැසියාය. ඇමෙරිකාවට කොකෝන්, හෙරොවින්, ෆෙන්ටිනල් යන මත්ද්‍රව්‍ය ඇමෙරිකාවට ප්‍රවාහනය සිදුවන්නේ එල් මෙන්චෝ සහ ඔහුගේ අපරාධ කල්ලිය හරහා යැයි පැවැසෙයි.
එල් මෙන්චෝ ඝාතනයත් සමඟ වියරු වැටුණු ‘හලිස්කෝ නිව් ජෙනරේෂන් කාටෙල්’ සාමාජිකයන් මෙක්සිකෝවේ ප්‍රාන්ත රැසක ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්න වූහ. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දෛනික කටයුතු අඩපණ වූ බවත් වාර්තා විය.
අපරාධ කල්ලි සාමාජිකයෝ මාර්ග සිය ගණනක් අවහිර කරමින්, ඉන්ධන පිරවුම්හල්වලට, රජයේ ගොඩනැගිලිවලට පහර දුන් අතර, අධිවේගී මාර්ගවල බස්රථවලට ගිනි තබන්න වූහ.
හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්, ඇමෙරිකන් රජය සහ මෙක්සිකෝවේ ඇමෙරිකන් තානාපති කාර්යාලය එරට සිටින ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම් සිදු කළේය.
ඒ විමසිල්ලෙන් පසුවන බවත් ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වීමේ ඉඩක් ඇති බවත් පෙන්වා දෙමිනි. ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙන්නේ ග්වාඩලජාරා, පුවර්ටෝ වල්ලර්ටා, සියුඩාඩ් ගුස්මාන්, ටිජුවානා, චියාපාස් සහ මිචෝකාන් යන ප්‍රදේශවලය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd