ලොව පුරා පැතිරයන සීකා වයිරසය සමග මිනිසාට වැළදෙන ස්නායු ආබාධ දෙකක් හා දරු උපත් වලදි ඇතිවන ආබාධ අතර සම්බන්ධතාවයක් පවතින්නේ ද යන්න සතිකිපයකින්  ස්ථිරව ම සනාථකර ගත හැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 

එම සංවිධානයේ සහකාර ජනරාල් මාරි පවුලි කිනි මේ බව ජිනීවා වල පැවති මාධ්‍ය හමුවකදි පවසා තිබේ.

අළුත උපන් ළදරුවන්ගේ හිසේ ප්‍රමාණය එම වයසේ වෙනත් දරුවන්ගේ හිසේ ප්‍රමාණයට වඩා කුඩා වීමේ රෝගය බ්‍රසීලයේ ඉතා වේගයෙන් පැතිරීයාම ට හේතුව මදුරුවන්ගෙන් ඇතිවන සිකා නම් වෛරස් රෝගය බවට සැකයක් පවතී. මේ හේතුවෙන් සිකා සඳහා ප්‍රතිශක්තීකරණය, ඖෂධ නිෂ්පාදනය සහ රෝග හඳුනා ගැනීමේ කටයුතු දියණු කිරිම කෙරෙහි ගෝලීය අවධානය යොමුවිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙම රෝගය සඳහා එන්නතක් නිෂ්පාදනයේ දී ඇමරිකානු විද්‍යාඥයින් සහ ඉන්දියානු තාක්ෂණ විද්‍යා සමාගමක් ඉදිරියෙන් සිටින බවයි. කෙසේ වෙතත් මහා පරිමානයෙන් මෙම එන්නත් චිකිත්සාගාර අත්හදා බැලීමේ කටයුතු සිදුකිරීමට අවම වශයෙන් මාස 18 ක් පමණ ගතවන බව පැවසේ. එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය ගැබිනි මවුවරුනට සීකා රෝගය පැතිර යන ප්‍රදේශ වෙත සංචාරය කිරීමෙන් වළකින්නැයි අවවාද කර ඇත. දැනට ලෝකයේ රටවල් 30ට වැඩි ප්‍ර‍මාණයක සීකා වෛරසය පැතිර පවතින බව වාර්තා වෙයි