දශක ගණනාවක් මුළුල්ලේ පැවැති සබඳතා අවසන් කරමින් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින අද (23) අවසර දුන්නාය.

වඩාත් ස්වාධීනව හා නිදහස්ව කටයුතු කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කළ අතර එම ක්‍රියාවලිය ‘බ්‍රෙක්සිට්’ යනුවෙන් හැඳින්විණි.

මේ මස අවසානයේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වන අතර කෙසේ නමුත් ඔවුන්ගේ අනාගතය අවිනිශ්චිත යැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

රාජ්‍ය නායිකාව වන එළිසබෙත් මහ රැජිනගේ නිල සහ චාරිත්‍රානුකූල අවසරය ලැබීමත් සමඟ බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අවස්ථාව ලැබේ. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කරවා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ද සම්මත කරගත්තේය.

මීට පෙර අවස්ථා ත්‍රිත්වයකදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීම සඳහා පියවර ගත්ත ද ඒ සියල්ල අසාර්ථක විය.

රැජිනගේ නිල අවසරය ලැබීමත් සමඟ බ්‍රිතාන්‍යයට සිය සමීපතම අසල්වාසීන්ගෙන් සහ වෙළෙඳ සහකරුවන් හා පාර්ශවකරුවන්ගෙන් වෙන්වීමට අවස්ථාව උදාවේ.

යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනකු බ්‍රසල්ස් නුවරදී වෙන්වීමේ ප්‍රඥප්තියට අත්සන් තැබීමට නියමිත අතර ඉදිරි දින කිහිපයේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද ඊට අත්සත් තැබීමට නියමිතය. බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ අතර 2016 වසරේ පැවැති ජනමත විමසුමේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය. 

ඒ.එෆ්.පී. 

055