යුරෝපා සංගමයේ සභාපතිනීි උර්සුලා වොන්ඩර්ලින්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. ඒ, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙනි.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහ යුරෝපා සංගමයේ සභාපතිනිය අතරේ හමුව පැවැත්වූයේ කීව් අගනුවරදීය. හමුව පැවැත්වෙද්දී පවා කීව් අගනුවර ස්ථාන කීපයකට රුසියන් හමුදාවෙන් මිසයිල ප්‍රහාර එල්ල වුණු බව වාර්තා වේ.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේ, යුක්රේනය නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා බටහිර රටවල් එක් වී, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින් පිහිටවූ යුද සන්ධානයයි.

යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේ එබැවිනි.

රුසියාවට එරෙහි යුද්ධයේ දී යුරෝපා සංගමයේ සහාය නොඅඩුව යුක්රේන රජයට හිමිවනු ඇතැයි යුරෝපා සංගමයේ සභාපතිනීි උර්සුලා වොන්ඩර්ලින්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවී අවධාරණය කළාය.