කොටි සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය කටයුතු කිරීම තමන් දැඩි සේ සැළකිල්ලට ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

තහනම ඉවත් කිරීම හෝ නොකිරීම යුරෝපා සංගමයට අයත් දෙයක් බව පිළිගන්නා ශ්‍රී ලංකා රජය තත්ත්වය එසේ වුවත් රටක ස්වෛරීභාවය මහත් ඉහළින් සළකන යුරෝපා නීති පද්ධතිය ඉදිරියේදී මේ ගත් තීරණයේ අඩුපාඩුවක් දුටුවහොත් වහා අවැසි පියවර ගනු ඇතැයි දැඩිව විශ්වාස කරන බව එම නිවේදනයේ දැක්වේ.

2006 වසරේ මැයි මාසයේදී යුරෝපා සංගමය කොටි සංවිධානය තහනම් සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කළ අතර යුරෝපයට අමතරව ඇමරිකාව, ඉන්දියාව, කැනඩාව, එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව කොටි සංවිධානය තහනම් කර ඇති අනෙක් රටවල් වේ.

තහනම ඉවත් කෙරුණද කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යුරෝපා සංගමයට තොරතුරු සැපයීමටත්, සංගමය සිදුකරන පරීක්ෂණයන්ට සහය දැක්වීමටත් රජය කටයුතු කරනු ඇති බව විදේශ අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

කොටි තහනම ඉවත් කෙරුණු පසු යුරෝපයේ ජීවත් වන සාමකාමිී දෙමළ ජනතාවට හා ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති යුරෝපයේ වැසියන්ට කොටි ක්‍රියාකාරීන්ගෙන් පීඩා පැමිණෙනු ඇත්දැයි රජය විමසිල්ලෙන් සිටින බවද එහි වැඩිදුරටත් සඳහන්ය.