නිරිතදිග යේමනයේ තායිස් පළාතේ වෙළෙඳපොළකට සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මියගිය හා තුවාල ලැබූ පිරිස 100 ඉක්මවා ගොස් ඇතැයි එරට බලධාරීහූ පවසති. 
 
 හයිමේ දිස්ත්‍රික්කයේ පිහිටි වෙළෙඳපොළකට ගුවන් ප්‍රහාර එල්ල වී තිබෙන අතර යේමන සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවලට අනුව මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් තිබේ. මියගිය හෝ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යා වෙන වෙනම ප්‍රකාශ කිරීමට තවම හැකියාවක් නැතැයි යේමන බලධාරීහූ කියති.
 
මෙම ගුවන් ප්‍රහාරය එල්ල වූයේ සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ ගුවන් හමුදා එල්ල කරන ලද ප්‍රහාර කිහිපයකින් 30 කට ආසන්න පිරිසක් මියගොස් දිනක් ගත වෙන්නට පෙරය. එම ප්‍රහාර ගොන්නට යේමනයේ අගනුවර වන සානා නුවරට එල්ල කරන ලද ප්‍රහාර ද අයත් යැයි වාර්තා වේ. 
 
සෞදි අරාබිය 2015 වසරේ මාර්තු මාසයේ සිට ඉරානයේ සහාය ලබන හූති කැරැලිකරුවන් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරයි. සෞදි අරාබිය යේමනය තුළ දියත් කර තිබෙන හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් ආසන්න වශයෙන් 13,600කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි පැවසේ. 
 
යේමනයේ ඇති වී තිබෙන සිවිල් යුද්ධය හේතුවෙන් ලොව ඇති වූ දරුණුතම සාගත හා මානුෂීය අවශ්‍යතාව ඇති වී ඇතැයි ද කොලරා සහ ගලපටල වසංගත රෝගය යේමනය තුළ ව්‍යාප්ත වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන අවධාරණය කරයි. 
 
සිවිල් යුද්ධය හේතුවෙන් යේමනයේ මිලියන 17කට ආසන්න ජනතාවක් ආහාර අනාරක්ෂිතතා අවදානමකට මුහුණ දී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. මිලියන 6.8ක ජනතාවකට, එනම් යේමන ජනගහනයෙන් හතරෙන් එකකට ප්‍රමාණවත් ආහාර නොලැබෙන බව එම සංවිධානය තවදුරටත් කියයි.

ප්‍රෙස් ටීවී ඇසුරිනි 

055