පසුගිය අට වැනිදා යේමනයේ අවමගුල් උත්සවයක් ඉලක්ක කර එල්ල කැරුනු ගුවන් ප‍්‍රහාරය වැරදීමකින් එල්ල කැරුණක් බව සෞදි අරාබිය ප‍්‍රමුඛ සන්ධානය පිළිගෙන ඇත.

මෙම ගුවන් ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 140 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මියගොස් සිටින අතර ඔවුන් අතරින් බොහෝදෙන සිවිල් වැසියෝය.

ප‍්‍රහාරය එල්ල කැරුනු දිනයේ පටන් සෞදි අරාබිය ප‍්‍රමුඛ සන්ධානයට අන්තර්ජාතික මට්ටමින් නොයෙක් විවේචනයන් එල්ල වූ අතර ඊට පිළිතුරු ලබාදීමක් ලෙස ස්වාධීන විමර්ෂණයක් ආරම්භ කැරින.

එම විමර්ෂණයෙන් අනාවරණයව තිබෙනුයේ ගුවන් ප‍්‍රහාරය එල්ල කළ යානා වල සිටි නියමුවන්ට, අවමගුල් උත්සවයට සහභාගීව සිටින්නේ හූදී නායකයින් බවට සාවද්‍ය තොරතුරු ලබාදීමක් සිදුව ඇති බවය.එම තොරතුරු ලබාදුන් යේමන ගුවන් පාලක මධ්‍යස්ථානය, ප‍්‍රහාරය එල්ල කිරීම සදහා සෞදි අරාබිය ප‍්‍රමුඛ සන්ධානයේ අවසරය ලබාගෙන නැතැයිද විමර්ෂණ වාර්තාවෙන් චෝදනා කර තිබේ.

විපතින් හානියට පත්වූවන්ට වහා සහන සැළසීම සදහා ඔවුන් හදුනාගැනීමේ වැඩසටහනක් මේ වන විට දියත් කර තිබේ.

සෞදි අරාබිය ප‍්‍රමුඛ සන්ධානයට ඇමරිකාවේ සහය හිමිය.නමුත් මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් වොෂින්ටනයද දැඩි අප‍්‍රසාදය පලකරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

යේමන රජයේ ආරක්ෂක අංශ හා හූදී සටන්කාමිීන් අතර ඇවිලෙමින් තිබෙන ගැටුම් වලින් මේ වන විට සිවිල් වැසියන් 6000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි ගණන් බලා ඇත.සෞදි අරාබිය ප‍්‍රමුඛ අරාබිකරයේ රටවල් 14 කින් සැදුම්ලත් සන්ධානයක් යේමන රජයට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටී.