රුසියන් හමුදා ආක්‍රමණයට එරෙහිව මුහුණ දෙන යුක්රේනයට අවි ආයුධ ලබා දීම කඩිනම් කරනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ම්ලේච්ඡ යුද්ධය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ආරම්භ කළ යුද්ධයක් බවත්, යුක්රේනයට ආරක්ෂා වීමට සහාය දැක්වීම සැමවිටම සාමය අපේක්ෂා කරන ඇමෙරිකාවේ වගකීම බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේනයට කඩිනමින් අවි ආයුධ ලබා දීමට පියවර ගෙන ඇත්තේ, දෙවැනි ලෝක යුද්ධයේදී ඇමෙරිකාව යුරෝපයේ මිත්‍ර පාර්ශ්වීය රටවලට ණය මුදල් සහ ආයුධ ලබා දීමට ඇති කරගත් පනතක් යවත්කාලීන කරමිනි.

ඒ සඳහා නියෝගයට බයිඩන් අත්සන් කළේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, ඒ, දෙවැනි ලෝක යුද්ධය අවසන් කරමින් ජර්මන් නාසි හමුදා පරාජය කිරීමේ සැමරුමට සමගාමීවය.

ඊට අමතරව, තවත් ඇමෙරිකන් ඩොලර් බිලියන 33 ක මුදලක් යුක්රේනයට ලබා දීමට ද ඇමෙරිකන් ජනාධිපතිවරයා එරට කොංග්‍රස් මණ්ඩලයට (පාර්ලිමේන්තුවට) යෝජනා කර තිබේ.

මේ අතර, යුක්රේනයට අවි ආයුධ සැපයීම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ අවි තොග අවසන් වී ගෙන යන බව කොංග්‍රසයේ රිපබ්ලිකන් පාක්ෂික මයික් ගැලගර් පවසා තිබේ.

මේ වන විටත් යුක්රේනයට වසර ගණනක් සඳහා අවශ්‍ය අවි තොග ලබා දී අවසන් බව මයික් ගැලගර් වැඩි දුරටත් පවසා ඇත. එසේ තිබියදී ඇමෙරිකන් ජනාධිපතිවරයා තව තවත් යුක්රේනයට අවි ආයුධ ලබා දීමට පියවර ගැනීම ගැලගර්ගේ විරෝධයට හේතුවක් වී තිබේ.

(රොයිටර්)