යුක්රේනය විසින් එල්ල කරනු ලබන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ රුසියාවේ මොස්කව් නුවර සිට කළු මුහුද දක්වා වූ බලශක්ති පද්ධතියට සහ තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බැවින්, රැසියාව ඉන්ධන අර්බුදයකට මුහුණ දෙන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 

යුක්රේන ප්‍රහාර හමුවේ රුසියාවේ ඉන්ධන අර්බුදයක් නිර්මාණය වූ බව රුසියන් ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කළ පළමු අවස්ථාව මෙයයි.

මොස්කව් නුවර සිට කළු මුහුද දක්වා වූ බලශක්ති පද්ධතියට සහ තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට එල්ල වන යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන්, රුසියාව පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දකින්න අතර, ප්‍රදේශ රැසක ඉන්ධන සලාක ක්‍රමයකට නිකුත් කිරීමට ද පියවර ගෙන තිබේ. 

රුසියාව විසින් ඈඳා ගන්නා ලද යුක්රේනයට අයත්ව තිබුණු ක්‍රිමියානු අර්ධද්වීපයේ සිවිල් වැසියන්ට ඉන්ධන ලබාගැනීම තහනම් කරමින්, යුද වාහන සඳහා එහි ප්‍රමුඛතාව ලබා දීමට ද බලධාරීන් කටයුතු කර ඇත.

ජනාධිපති පුටින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තෙල් සමාගම් ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී කියා සිටියේ රුසියානු වාහන හිමියන් මෙන්ම ව්‍යාපාරිකයන් ද මේ වන විට ගැටලුවලට මුහුණ දී ඇති බවය. විශේෂයෙන්ම රටේ කෘෂිකාර්මික අස්වනු නෙලීමේ කටයුතු සඳහා මෙම ඉන්ධන හිඟය සෘජුවම බලපා ඇති බව ද පූටින් සඳහන් කළේය. 

රුසියානු මාධ්‍ය වාර්තාවලට අනුව, දැනට රුසියානු කලාප 56 ක ඉන්ධන පාලනයක් (සීමා කිරීම්) පනවා ඇත. එසේ වුවත්, රුසියානු රාජ්‍ය රූපවාහිනිය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති පූටින් අවධාරණය කළේ, යුක්රේන ප්‍රහාර මඟින් ගැටලු මතු වුව ද එය අර්බුදකාරී මට්ටමක නොමැති බවය. 

බලශක්ති මධ්‍යස්ථාන ආරක්ෂා කිරීම සඳහා ගුවන් ආරක්ෂණ පද්ධති නිෂ්පාදනය වේගවත් කරන ලෙසත්, හානි වූ පිරිපහදු කඩිනමින් යථා තත්ත්වයට පත් කරන ලෙසත් ජනාධිපති පුටින් උපදෙස් දී ඇත.

ක්‍රිමියාවේ පවතින්නේ තවත් දින කිහිපයකට සෑහෙන ඉන්ධන ප්‍රමාණයක් පමණක් වුවද, ඉතා ඉක්මනින් එදිනෙදා අවශ්‍යතා සඳහා ඉන්ධන සැපයීමට පියවර ගන්නා බව ඔහු අවධාරණය කළේය.