මොස්කව්හිදීය/කීව්හිදීය (රොයිටර්/ඒ.එෆ්.පී)

කළු මුහුදේදී යුක්රේනයට අයත් නාවික යාත්‍රා කිහිපයකට වෙඩි තබා එම යාත්‍රා ඔවුන්ගේ ග්‍රහණයට ගත් බවට රුසියාවට චෝදනා එල්ල වී ඇත.

යුක්රේන නාවික හමුදාව තම ෆේස්බුක් පිටුවේ නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් රුසියාව තම යාත්‍රා තුනකට වෙඩි තැබූ බවත් වෙඩි තැබීම්වලින් එක නිලධාරියකු තුවාල ලැබූ බවත් සඳහන් කර තිබිණි. 

මෙය සිදුවූයේ ඉරිදා දිනයේදී වන අතර නාවික යාත්‍රා තුන රුසියාවේ ග්‍රහණයට නතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

රුසියානු පාලනයේ තිබෙන ක්‍රිමියා අර්ධද්වීපයට ආසන්න මුහුදේදී එම වෙඩි තැබීම සිදු වී තිබෙන අතර මේ නිසා රුසියාව සහ යුක්රේනය අතර අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි පැවසේ. 

කළු මුහුදේදී තම වෙරළ ආරක්ෂක බෝට්ටු යුක්රේනයට අයත් නාවික යාත්‍රා තුනක් අල්ලා ගත් බවත් ඒවා නැවැත්වීමට ආයුධ භාවිත කිරීමට සිදු වූ බවත් රුසියාවේ එෆ්.එස්.බී. ආරක්ෂක සේවය උපුටා දක්වමින් රුසියානු පුවත් ආයතන වාර්තා කර තිබිණි. 

යුක්රේනයට අයත් එම යාත්‍රා අනවසරයෙන් රුසියාවට අයත් මුහුදු සීමාවට ඇතුළු වූ බවත් ඔවුන් නීති විරෝධි ක්‍රියාකාරකම්වල යෙදීමටත් උත්සාහ කළ බවත් එෆ්.එස්.බී. ආරක්ෂක සේවය සඳහන් කර ඇත. එම යාත්‍රා තම අණ නොතකා කටයුතු කළ බැවින් ආයුධ භාවිත කිරීමට සිදු වූ බව එම සේවය පවසා ඇත. 

055