
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට පැමිණියේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගෙන් සෙලෙන්ස්කීට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.
රුසියාව යුක්රේනයට එරෙහි හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙන් පසු, ජනාධිපති සෙලෙන්ස්කී, බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් හමුවී, යුක්රේන ජනාධිපතිවරයා රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. එහිදී යුක්රේන හමුදාවට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන්නැයි සෙලෙන්ස්කී, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.
යුක්රේන ජනාධිපතිවරයා කළ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් රුසියාව විමසිල්ලෙන් පසුවුණු අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, තර්ජනය කර ඇත්තේ යුක්රේනයට ප්‍රහාරක ජෙට් යානා ලබා දුන්නොත් බ්‍රිතාන්‍යයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවය.
අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ අවස්ථාවේ පටන් රිෂී සුනාක්, යුක්රේනයට සහාය දැක්වීමට පියවර ගත්තේය. ඔහු යුක්රේනයේ කීව් අගනුවරට ද ගොස් සෙලෙන්ස්කී හමුවී, දිගටම සහාය ලබා දීමට ප්‍රතිඥා දුන්නේය.
ලන්ඩන් නුවර, ඩවුනිං වීදියේ අංක 10 ලිපිනයේ පිහිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රිෂී සුනාක් හමුවීමෙන් පසු, සෙලෙන්ස්කී සහ සුනාක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව බලා ගියහ. සෙලන්ස්කී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමැතුවේ ඉන්පසුවය.
සාමාජිකත්වය ලැබුණත් නැතත්, යුක්රේනය දිගටම ‘නේටෝ’ සංවිධානයට සහාය දක්වන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින්, සෙලෙන්ස්කී පැහැදිලි කළේය.
රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදීමට, යුක්රේන හමුදාවට මහා බ්‍රිතාන්‍යය ‘චැලෙන්ජර්’ වර්ගයේ ඔවුන් සතු යුද ටැංකි ලබා දෙයි. එම යුද ටැංකි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුහුණුව යුක්රේන සෙබළුන්ට බ්‍රිතාන්‍යයේ දී ලබා දීම සිදුවෙයි.
අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී කැටුව, බ්‍රිතාන්‍යයේ ලුල්වර්ත් පළාතේ, ඩොර්සෙට් හමුදා කඳවුරට ගිය බවත්, එහිදී යුක්රේන සෙබළුන්ට පුහුණුව ලබා දෙන ආකාරය අධීක්ෂණය කළ බවත් මාධ්‍ය වාර්තා කළේය.
පාර්ලිමේන්තුව ඇමැතීමෙන් පසු සෙලෙන්ස්කී, ප්‍රංශයේ පැරිස් නුවර බලා ගියේය. ඒ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් හමුවීමටය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd