ඉරානයේදී අනතුරට පත්වූ ගුවන් යානය මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු බවට බුද්ධි අංශ කිහිපයක තොරතුරුවලින් පෙනී යන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පැවැසීය.

ඉරානයේ තෙහ්රාන් නුවරින් ඉකුත් දා (8) වැනිදා ගමන් ඇරැඹු ගුවන් යානය ඉන් පැය කිහිපයකට පසා කඩා වැටුණි. අනතුරින් යානයේ සිටි 176 දෙනාම ජීවිතක්ෂයට පත්වූහ. ඉන් 63 ක් කැනඩා ජාතිකයෝ වූහ.

කැනඩාවේ අගනුවර වන ඔටාවාහිදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් අග්‍රාමාත්‍ය ටෲඩෝ පෙරේදා (9) එම කරුණු අනාවරණය කළේය. ගුවන් යානයකට ප්‍රහාරයක් එල්ල වන විඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ කැනඩා අගමැතිවරයා එම කරුණු කීවේය.

ගුවන් යානය කඩා වැටුණු බවට වාර්තා වූයේ ඉරානය, ඉරාකයේ පිහිටි ඇමෙරිකානු කඳවුරු දෙකකට මිසයිල එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුවය.

“මේක හිතමතා කරපු දෙයක් නොවෙයි. අපි හැමෝම ඒක දන්නවා. එහෙත් කැනඩා ජාතිකයන්ට ප්‍රශ්න තිබෙනවා. ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර ඕනෑ” යැයි අග්‍රාමාත්‍යවරයා වාර්තාකරුවන්ට කීය.

ගුවන් යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාර වැදීමෙන් යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද එරට බලධාරීන් උපුටා දක්වමින් පැවැසීය.

ගුවන් යානය කඩා වැටී ඇත්තේ මිසයිල ප්‍රහාරයකින් බවට ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය සහ කැනේඩියානු බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ද අග්‍රාමාත්‍ය ටෲඩෝ කීවේය.

ඒ.එෆ්.පී. 

055