රුසියන් හමුදාව, යුක්රේනයේ කීව් අගනුවරට මිසයිල් ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් යුක්රේන වැසියන් 23 දෙනකු මියගිය බව වාර්තා වේ. ප්‍රහාරයෙන්, යුරෝපා කොමිසමේ රාජ්‍ය තාන්ත්‍රිකයන් රැඳී සිටින ගොඩනැගිල්ල සහ ඒ අසල පිහිටි බි්‍රතාන්‍ය කවුන්සිලයට ද දැඩි හානි සිදුවිය.

මියගිය එම පුද්ගලයන් 23 දෙනා අතරේ කුඩා දරුවන් සිවු දෙනකු ද සිටින බව වාර්තා වේ. තුවාල ලැබූ ගණන 30 කි. යුරෝපා කොමිසමේ රාජ්‍ය තාන්ත්‍රිකයන් රැඳී සිටින එම ගොඩනැගිල්ල මහල් පහකින් සමන්විතය. එය සම්පූර්ණයෙන් විනාශ වූ බව පැවැසෙයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත්තේ, යුක්රේන රුසියා යුද්ධය නැවැත්වීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ කිසිදු උනන්දුවක් නොමැති බව පැහැදිලි වන බවය. රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට යුරෝපා රටවල නායකයෝ මේ වනවිට සාම වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා පවත්වමින් සිටිති.

රුසියන් ප්‍රහාරය පිළිබඳ විරෝධය දැක්වීම සඳහා යුරෝපා කොමිසම සහ ලන්ඩනයේ සිටින රුසියානු තානාපතිවරුන් කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ‘රුසියාව සාකච්ඡා මේසය වෙනුවට බැලස්ටික් තෝරාගෙන තිබෙනවා.’ යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පැවැසුවේ රුසියාවට තව තවත් සම්බාධක පැනැවිය යුතු බව අවධාරණය කරමිණි.

(ඒ.එෆ්.පී.)