ගෙවුණු මාස 20 කට ආසන්න කාලය සැළකීමේදී බි‍්‍රතාන්‍යය,ඇමරිකාව,ප‍්‍රංශය වැනි රටවල් එක්ව දියත් කළ මෙහෙයුම් වලින් අයිඑස් ත‍්‍රස්තයින් 25000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එල්ල වන ප‍්‍රහාර හමුවේ අයිඑස් ත‍්‍රස්තයින් ඔවුන් අත්පත් කරගෙන සිටි බිම් අතහැර පසුබසිමින් සිටින බවත් මේ වන විට අයිඑස් පාලනය යටතේ පැවති උතුරුදිග ඉරාකයේ බිම් වලින් සියයට 40 ක් පමණම අයිඑස් ත‍්‍රස්තයින්ගෙන් නිදහස්ව ඇති බවත් එම වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

අයිඑස් බලකොටුව ලෙස සැළකෙන සිරියාවේ රකා නුවරට සැළසුම් සහගත ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමකින් බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබේ.

සාමාජිකයින් දහස් ගණනින් මරුමුවට පත්වීමට අමතරව අයිඑස් සංවිධානයට මුහුණදීමට සිදුව තිබෙන තවත් ප‍්‍රධාන ගැටලූවක් ලෙස සඳහන් වන්නේ එම සංවිධානය ආදායම් උපයාගැනීමට යොදාගන්නා තෙල් බිම් වලට නිරන්තරයෙන්ම එල්ල වන ගුවන් ප‍්‍රහාරයන්ය.ආදායම කොතෙක් දුරට පහළ ගොස් තිබේද යත් අයිඑස් සාමාජිකයින් වෙත ගෙවනු ලබන වැටුප් පවා හරි අඩකින් පමණ කප්පාදු කිරීමට සංවිධානයේ නායකයින්ට සිදුව තිබෙන බව සැළය.

සිරියාවේ සිවිල් යුද්ධයත් සමග හිස එසවූ අයිඑස් ත‍්‍රස්තයෝ 2014 වන විට නැගෙනහිර සිරියාවේ සැළකිය යුතු බිම් පෙදෙසක් තම අණසක යටතට ගත්හ.පසුව ඔවුහු ඉරාකය දක්වාම ව්‍යාප්ත වූහ.නව තාක්ෂණය උපරිම අයුරින් භාවිතයට ගත් ඔවුහු නව සාමාජිකයින් බඳවා ගැනීමට බෙහෙවින් යොදාගත්තේ සාමාජ ජාල වෙබ් අඩවිය.

නමුත් තුර්කිය වැනි අසල්වැසි රටවල් දැන් අනුගමනය කරමින් සිටින දැඩි දේශසීමා නීති නිසා සංවිධානයට නව සාමාජිකයින් බදවා ගැනීමද දුෂ්කර වී තිබේ.

වැඩිදුර තොරතුරු හෙළි කළ නොහැකි වුවත් අයිඑස් ත‍්‍රස්තයින් දණ ගැස්වීමේ සමත් ප‍්‍රබල ප‍්‍රහාරයක් ළගදීම එල්ල කිරීමට සැළසුම් කර තිබෙන බව බැග්ඩෑඩයේ සිට අයිඑස් මර්දන මෙහෙයුම් මෙහෙයවන ඇමරිකා හමුදා ප‍්‍රධානියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ISISWAPL-0417-01