මැලේසියාවේ නව රජු ලෙස සුල්තාන් අබ්දුල්ලා පත්කර තිබේ. 

මැලේසියාවේ පැහැන්ග් පළාතේ පාලකයාව සිටි සුල්තාන් අබ්දුල්ලා ආසියානු හොකී සංගමයේ සභාපතිවරයා ලෙසත්, අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ කවුන්සිල සාමාජිකයකු ලෙසත් කටයුතු කළ අතර ඔහු මැලේසියානු පාපන්දු සංගමයේ හිටපු ප්‍රධානියාද වේ. 

ප්‍රාදේශීය පාලකයන් අතර ඊයේ පැවැති රැස්වීමකින් පසුව ඉදිරි වසර 5 ක කාලය තුළ මැලේසියාවේ රජු වශයෙන් සුල්තාන් අබ්දුල්ලා රියාතුඩීන් තෝරා පත්කර ගන්නා ලදි. මැලේසියාවේ රාජකීය පවුල් 9 ක් අතර පවතින පංගු ක්‍රමය අනුව මෙම පත්කරගැනීම කර තිබේ. 

59 හැවිරිදි  සුල්තාන් අබ්දුල්ලා එරට 16 වැනි ව්‍යවස්ථාදායක අධිරාජයා වන අතර ජනවාරි 31 වැනිදා ඔහු ධූරයේ දිව්රුම් දීමට නියමිතය. 

හිටපු අධිරාජයා වූ කෙලාන්තන් හි පාලකයා සිය ධූර කාලයේ වසර දෙකක් පමණක් රැඳී සිටීමෙන් පසු කිසිවකු අපේක්ෂා නොකළ මොහොතක ජනවාරි 6 වැනිදා  ඉල්ලා අස්වූයේය.  මැලේසියානු  දේශපාලන ඉතිහාසයේ රජ කෙනෙකු ධූර කාලයට පෙර ඉල්ලා අස්වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි. 

සුල්තාන් අබ්දුල්ලා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය නිල වශයෙන්ම බ්‍රහස්පතින්දා (31) රාජකාරි ආරම්භ කිරීමට නියමිතය. 

63226