(තිළිණි ද සිල්වා)
 
මැලේසියාවේ රැකියා සඳහා ගොස් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ඇතුලු විදෙස් ශ්‍රමිකයන්ට දඩුවමකින් තොරව යළි සිය රටට යෑමට මාස හතරක පොදු සමා කාලයක් එරට රජය විසින්  ප්‍රකාශයට පත් කර ඇතැයි මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි.

 
මෙම පොදු සමා කාලය එය ලබන දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වේ.

වීසා කාලය ඉක්මවා වලංගු වීසා නොමැතිව මැලේසියාවේ රැඳී සිටින්නන්ට හා විධිමත් ආගමනික මුද්‍රාව නොමැතිව මැලේසියාවේ රැඳී සිටින පුද්ගලයින් සඳහා එරටින් පිටවීම සඳහා මෙම කාලය තුළ ඉල්ලීම් ලිපියක් හා අනෙකුත් අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රිංගිට්ස් 700 ක (RM 700) පරිපාලන ගාස්තුවක් ගෙවීමෙන් පසු එරටින් පිටවීමට අවස්ථාව ලබා දෙනු ලබන බවද මහ කොමසාරිස් කාර්යාල වැඩිදුරටත් කියා සිටී.
 
මැලේසියාවෙන් පිටත්වීම සඳහා ගමන් බලපත්‍රය හා හදිසි ගමන් සහතික වැනි වලංගු ගමන් ලේඛන සහතික කිරීමද මෙම කාලය තුළදී සිදුකරනු ලබන අතර, නැවත සියරට පැමිණිමේ ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රය දින 7ක් තුළ නිකුත් කරනු ලැබේ.
 
මැලේසියාවේ නීතිවිරෝධිව රැඳී සිටිමින් සේවය කරන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ මෙරට වෙසෙන ඥාතීන් වේ නම් මෙම පොදුසමා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන නැවත දිවයිනට පැමිණිම සඳහා තම ඥාතින් දැනුවත් කරන මෙන් කාර්යාංශය ඉල්ලා සිටින අතර මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මැලේසියාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයේ  00603-20341705 හෝ 00603-20341706 දුරකථන අංක ඇමතීම මගින් ලබා ගත හැකි බවද මැලේසියාවේ මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.