මලයාසියා ගුවන් සමාගම සිය සේවකයන් 20,000ක් පමණ පිරිසෙන් 6,000ක් ඉවත්කිරීමට කටයුතු කැර ඇත. එක් යානයක් අතුරුදන්වීමෙන් හා තවත් යානයක් කඩා වැටීමෙන් පසු ගුවන් සමාගමට විඳින්නට සිදුව ඇති පාඩුව පියවා ගැනීමට මේ පියවර ගෙන ඇත.

ගුවන් සමාගමේ අයිතිය ද සම්පූර්ණයෙන් ම රජයට පවරා ගැනීමට නියමිත අතර ප්‍රධාන විධායක නිලධාරියකු ද ඉදිරි දින කිහිපයේ දී පත්කැරෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා අතුරුදන් එම්.එච්. 370 යානය ගැන සෙවීමේ කටයුතු දිගටම සිදුකරන බව ද මලයාසියා රජය පවසයි. යුක්රේණයේදි අනතුරට පත් එම්එච් 17 ගුවන් යානය සම්බන්ධ විමර්ශන ද මෙතෙක් අවසන් වී නැත.

මෙම පාඩුව පියවා ගැනීමට තබන පියවර සඳහා මැලේසියානු රින්ගිට් බිලියන හක් හෙවත් ඩොලර් බිලියන 1.9 ක් වැයකල යුතුව තිබේ. මෙම ගුවන් සමාගම නැවතත් ලාබ ලබන තත්වයට ගෙන ඒමට සැලසුම් කැර ඇත්තේ 2018 වර්ෂයේ දී ය.