මලාලා යූසුෆ්සායි උසස් පෙළ විශිෂ්ට ලෙස සමත්වීම හේතුවෙන් ඔක්ස්ෆර්ඩ් සරසවියට තේරී ඇති බව වාර්තා වේ. නොබෙල් සම්මාන ත්‍යාගලාභී මලාලා දැනට එංගලන්තයේ බර්මින්හැම් නගරයේ ජීවත් වන අතර එහි ලේඩි මාගරිට් හෝල් විද්‍යලයේ උසස් අධ්‍යාපනය ලැබීය.

උසස්පෙළ සඳහා දේශපාලන විද්‍යාව, දර්ශනවාදය හා ආර්ථික විද්‍යාව හැදෑරූ ඇය එම විෂයන් තුනටම ඒ සාමාර්ථ ලබාගෙන ඇත. පකිස්ථාන ජාතික මලාලා යූසුෆ්සායි ගැහැණු දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් සම්බන්ධයෙන් දිගින් දිගටම සටන් කළාය.

2012 වර්ෂයේදී තලේබාන් සාමාජිකයන් විසින් ඇය ඝාතනය කිරීමට දැරූ ප්‍රයත්නයෙන් ඇය බේරුණේ අනූනවයෙනි. ඉන්පසු ඇය ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්වූ අතර එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් පවුලේ සාමාජිකයන් සමඟ බර්මිංහැම් නගරයේ පදිංචියට ගියාය.

20 හැවිරිදි වියේ පසුවන මලාලා හිටපු පකිස්ථාන අගමැතිනී බෙනාසීර් භූතෝ මහත්මිය ඔක්ස්ෆර්ඩ් සරසවියේදී  හැදෑරූ විෂයයන්ම තෝරාගෙන ඇති බව පැවසේ.

(බීබීසී පුවත් ඇසුරිණි - 085)