මලයාසියා ගුවන් සේවයේ අපල කාලය අවසන් වී නොමැති බව සිතෙන තවත් සිදුවීමක්  ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඩ් ගුවන්තොටුපළෙන් වාර්තා විය.

මලයාසියාවේ ක්වාලාලම්පූර් බලා යෑමට තිබූ මලයාසියා ගුවන්සේවයට අයත් එම්.එච්.136 අංක දරණ ගුවන්යානය ගුවන් පථයේ ඇදෙමින් තිබිණි.එහි මගීහු 167 දෙනෙක් සිටියෝය.

මේ අතර ගුවන්තොටුපළට ගොඩබැස්වීමට යානයක් පැමිණෙමින් සිටියේය.හදිසියේම එම්.එච් 136 ගුවන්ගත වන්නේ නම් එය පැමිණෙමින් තිබෙන යානයේ ගැටෙනු ඇති බව ගුවන් පාලන මැදිරිය දුටුවේය.

වහාම යානය නවතා ගන්නැයි නියමුවාට උපදෙස් දෙනු ලැබිණි.

ආයාසයක් දරා ගුවන්යානය නවතා ගැනීමට ඔහුට හැකි විය.හදිසියේම තිරිංග යෙදීමෙන් ගිනියම්ව තිබූ රෝද ඇතුළු තිරිංග පද්ධතිය නිවෙන තෙක් යානය ගුවන්ගත කෙරුණේ නැත.

ගුවන්තොටුපළට පැමිණෙමින් තිබූ යානය එයට නියමිත උසට වඩා වැඩි උසකිනුත් නියමිත වේගයට වඩා වැඩි වේගයකිනුත් පැමිණ ඇතැයි හෙළිව තිබේ.

එයට යටින් පියඹා යාමට මැලේසියා ගුවන්යානයට ඇති හැකියාව පිළිඹද සැක සිතා ඇති ගුවන්ගමන් පාලක මධ්‍යස්ථානයේ සිටියෝ අවසානයේ අවදානම නොගෙන යානය නතර කිරීමට උපදෙස් නිකුත් කර ඇත.

මලයාසියා ගුවන්සේවයට වසරේ මේ දක්වා ගෙවී ඇති කාලය අතරතුරදී ගුවන්යානා 2 ක්ම අහිමිව ගොස් තිබේ.ඉන් එකක් මගීන් සමග ඉන්දියන් සාගරයේ අතුරුදන්ව ගිය අතර අනෙක යුක්රේන බෙදුම්වාදීන්ගේ ප‍්‍රහාරයකට ලක්ව විනාශ විය.